මහ සයුරේ පවතින දැඩි කුණාටු තත්ත්වයක් හා අයහපත් කාලගුණික ස්වභාවය හේතුවෙන් බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගියේ බහුදින යාත්‍රා 100ක් අද (18) වන විට ආපසු හරවා බේරුවල ධීවර වරායට පැමිණි බව බේරුවල ධීවර වරාය කළමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා පැවසීය.
ඉකුත් (15) දා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට මෙම නිවේදනය නිකුත් කළ පසු බේරුවල ධීවර වරාය කළමනාකාරිත්වය හා ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ධීවරයන් රැගත් යාත්‍රා ආපසු ගොඩබිමට පැමිණෙන්නැයි කළ ඉල්ලීම මත අද දහවල් වන විට 100 වන යාත්‍රාව බේරුවල වරායට සේන්දු වූ බවත් ඒ මහතා පැවසීය.
ගතවූ දින තුනක කාලය තුළ දී බේරුවල ධීවර වරාය වෙතින් මෙම බහුදින යාත්‍රා මඟින් ධීවර කටයුතු සඳහා ධීවරයන් 700ක් පමණ ඈත දියඹට ගොස් සිටි අතර මෙම දැනුම්දීම මත ඔවුන් ගොඩබිමට නැවත පැමිණි බව වරාය කළමනාකාරිත්වය වැඩිදුරටත් පවසයි.
මේ වන විටත් බේරුවල වරායට මුහුදු සැතපුම් 250 ක් දුරින් මුහුදේ දැඩි කැළඹිලි තත්ත්වයක් පවතින බවත් හෙතෙම පැවසීය.
ධීවර වරාය කළමනාකාරිත්වය ගොඩබිම සිට ඈත දියඹෙහි තිබූ බහුදින යාත්‍රා සමඟ තාක්ෂණික ගුවන් විදුලි සංඥා ක්‍රම උපයෝගී කරගෙන සිදු කළ දැනුම්දීමක් මත එම ධීවරයින් ගොඩබිම ළඟාවී තිබේ.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා