තියුණු ආයුධයකින් පහරදී සිය සත්මස් මිනිබිරිය ඝාතනය කළ පුද්ගලයෙකුට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කරමින් කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකරු වරදකරු කරමින් අද (31දා) මරණ දඬුවම නියම කළාය.
මිස්නක මොහොට්ටි මුදියන්සේලාගේ සඳලි ජයරත්න (මාස.07) නමැති සිය මිනිබිරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස මරණ දඬුවම නියම වූයේ, ගොකරැල්ල, හිද්දන ප්රදේශයේ පදිංචි මිස්සක මොහොට්ටි මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා (අවු.68) නමැත්තෙකුටය.
මීට අමතරව අදාළ දැරියගේ මව වන රෝහිණී ජයරත්න නමැත්තියට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම සහ ඝාතනය කිරීමට තැත්කිරීම, මොහොට්ටි මුදියන්සේලාගේ පොඩි මැණිකේ නමැත්තියට තුවාල සිදු කිරීම හා හෙට්ටිආරච්චිලාගේ ධර්මදාස නමැත්තාට මුගුරකින් පහරදී තුවාල සිදු කිරීම යන චෝදනා තුනට විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරිය, මරණ දඬුවමට අමතරව රුපියල් 30,000ක දඩ මුදලක් සමග බරපතළ වැඩ ඇතිව වසර 11ක සිරදඬුවමක්ද නියම කළාය.
අතුල බණ්ඩාර