ගෙවීගිය මාස දාහතරක කාලය තුළදී රුපියල් බිලියන දහඅටක වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ කංසා අත්අඩංගුවට ගෙන ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළේය.
නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පසුගිය 02 වැනිදා ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය හා යාත්‍රාව සැකකරුවන් ඊයේ (05දා) දික්ඕවිට වරායට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළේය.
හෙරොයින් කිලෝග්‍රෑම් 330ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාපතිවරයා සඳහන් කළේය.
පසුගිය වසර තුළදී ශ්‍රී ලංකා පොලීසිය විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 1739ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදිවත්ත මහතා සඳහන් කළේය.
නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය පිළිබඳ සිදුකළ පරීක්ෂණවලට අනුව විදේශ රටක සිට ශ්‍රී ලාංකිකයෙකු මෙය මෙහෙයවා තිබෙන බවට තහවුරු වන බවද ඔහු කීය.
එම පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකාව තුළ සිටින ජාවාරම්කරුවන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාගැනීමට නවීන තාක්ෂණය භාවිත කරන බවත්, මේ නිසා කුඩා යාත්‍රාවක ජාවාරමක් සිදුවුවද එය නාවික හමුදාවට හඳුනාගත හැකි බවත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළේය.
මේ නිසා මත්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතුවලට කිසිදු අවස්ථාවක සම්බන්ධ නොවන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත්, දරුවන් මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කරගැනීමට දෙමාපියන් කටයුතු කළයුතු බවත් හෙතෙම පවසා සිටියේය.