කුරුණෑගල මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටියදී පසුගිය 9 වන දින ඇද වැටීමෙන් මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව හිස යමක ගැටීමෙන් මොළයට රුධිර කාන්දුවක් නිසා සිදුවූවක් බව අද (11දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.ඒ.සී.පී.චමින්ද මහතා නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ මේ බව සඳහන්වේ.
එම පුද්ගලයා මියගිය දිනයේම සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බවද තහවුරු වී ඇත.
පසුගිය 9 වන දින පෙරවරුවේ 69 හැවිරිදි මෙම පුද්ගලයා ඇදවැටී අසාධ්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත.
මල්ලවපිටිය හෙට්ටිගෙදරවත්ත ප්‍රදේශයේ අයෙකු වන එස්.කේ.තෝමස් නමැත්තා මෙසේ මරණයට පත්ව ඇත.
එම වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුව වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම සෝදා පවිත්‍ර කර විෂබීජ හරණයකට ලක් කළ බවද එහිදී ජලය සහිත ටයිල් පොළොව මත ලිස්සා ඇද වැටීමෙන් මෙම පුද්ගලයා අනතුරට ලක්ව තිබෙන බවද කුරුණෑගල නාගරික හදිසි මරණ පරීක්ෂණ සාම විනිසුරු ධර්මකීර්ති අමරසිංහ මහතා විසින් සිදු කළ මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයාගේ දේහය භාර ගැනීමට ඥාතීන් ඉදිරිපත් නොවන බැවින් වයඹ පළාත් සමාජ සේවා දොපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව රජයේ වියදමෙන් මෘත දේහය කුරුණෑගල නාගරික සුසාන භූමියේ භූමදානය කිරීමට පියවර ගෙන ඇති බව නාගරික හදිසි මරණ පරීක්ෂණ අමරසිංහ මහතා ප්‍රකාශ කළේය.