මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුමක් සමඟ මතුවූ අස්ථි කොටස් තිබූ ස්ථානයේ මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී කැනීම් ආරම්භ කල බවට මුලතිව් පොලීසිය පවසයි.
මුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී පෞද්ගලික ඉඩමක සිදු කරන ලද කැනීමකදී පසුගිය 17 වනදා එල්.ටී.ටී.ඊ නිලඇඳුමක් හා මිනිස් අස්ථි බවට සැකකෙරෙන අස්ථි කිහිපයක් හමු වීමෙන් පසුව ඊයේ (21) සවස මෙම කැනීම සිදු කරන ලදි.
එහිදි සිදු කරන ලද කැනීම් වලදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, හඳුනානොගත් තුවක්කු කොටසක්, සයිනයිඩ් කරල් තිබූ බෝතලයක්, එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පලඳින නිලඇඳුමක් කොටස් කිහිපයක් මිනිස් අස්ථි කොටස් කිහිපයක්, වෝකි ටෝකි (ගමන් කතනයක්) හා එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පළඳින අයි. 2719 ටැග් එකක් හමු වී ඇත.
හමුවූ අස්ථි කොටස් පරික්ෂා වැඩිදුර පරික්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙසට මුලතිව් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.