මෙම වසරේ ගත වූ කාලයේදී මෙරටින් මැලේරියා රෝගීන් හත් දෙනකු හමුවී ඇති අතර ඊයේ (22) දිනයේදීද එක් ආසාදිතයකු වාර්තා වූ බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේය.
මේ අතරින් තිදෙනකු ශ්‍රී ලාංකිකයින් වන බවත් අනෙක් සිවුදෙනා විදේශිකයින් බවත් අධ්යක්ෂවරයා සඳහන් කළේ අද( 23දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනී.
මෙම සියලු දෙනා අප්‍රිකානු රටවල සිට පැමිණි අය බවත්, ඊයේ හඳුනාගත් රෝගියා ලිබියාවේ සිට පා පන්දු තරඟාවලියක් සඳහා මෙරටට පැමිණ ඇති අයකු බවද හෙතෙම පැවසුවේය.
අප්‍රිකානු රටවල මෙන්ම ඉන්දියාව,චීනය ඇතුළු රටවල් කිහිපයක මැලේරියා රෝගය පවතින බැවින් එවැනි රටවල සිට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන් මෙම රෝගය යලි පැතිරීමේ අවධානමක් පවතින බවද ඔහු සදහන් කළේය. විශේෂයෙන් සාමසාධක හමුදා ලෙස මෙරයින් පිටත්වන හමුදා සාමාජිකයින් මෙන්ම දඹදිව ආදී ඉන්දියානු සංචාරවල නිරතවන්නන්, මැඩගස්කරය හා මොසැම්බිග් වැනි අප්‍රිකානු රටවල මැණික් ව්‍යාපාර සදහා සංචාරය කරන්නන් මැලේරියා රෝගයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතිනබවද අධ්යක්ෂවරයා පැවසුවේය.