විදේශගතව සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ , පළමු සිසුන් කණ්ඩායම ලෙස සිසුන් 215 ක් පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිට ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.ඒ අනුව මුලින්ම සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටින සිසුන්ට පළමු අදියරේ අවස්ථාව ලබා දෙන බවද ෂෙහාන් සුමනසේකර මහතා සදහන් කළේය.
ඒ අනුව එළැඹෙන 21 දා සිසුන් 115 ක් පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ද , ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද ගුවන් තොටුපළ සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් මහතා අනාවරණය කළේය.
ඉන්පසුව ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට එරටට ගොස් සිටින සිසුන් 105 ක් , ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ද කටයුතු සූදානම් කරමින් පවතින බවද සුමනසේකර මහතා පැවසීය.
රැගෙන එනු ලබන සියලුම සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත අනිවාර්යයෙන්ම නීරෝධායන කටයුතු සදහා යොමු කරන බවද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.