මාලදිවයිනේ දියුණුව සඳහා ශ්‍රී ලංකාවට උපකාර කළ හැකි බවත් මාලදිවයිනේ ජනතාවට ශ්‍රී ලංකාවේදී අවයව බද්ධ කිරිමේ සැත්කම් සිදුකිරීමේ අවස්ථාව ලබාදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඊයේ (02) දින මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මෑත යුගයේ දී අප දෙරටේම ඒක පුද්ගල ආදායම සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී තිබෙනවා. නමුත් අප දෙරටටම පොදු වූ ප්‍රශ්න රැසක් තවමත් ඉතිරි වී තිබෙනවා. එම ප්‍රශ්න විසදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පවතින බව කිව යුතුයි.
මාලදිවයිනේ දියුණුව වෙනුවෙන් උදව් උපකාර කිරීමට අපට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍ර සේවා රැසක් මාලදිවයින් රජය වෙත ලබා දීම සඳහා අප මෙම සංචාරයේ දී එකඟතාව පළ කරනු ලැබුවා. ඒ අනුව මාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.
එමෙන්ම මාලදිවයිනේ සෞඛ්‍ය ක්ෂේත්රය නගාසිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන අතර ඒ සඳහා අවශ්‍ය ආයතනයක් මාලදිවයිනේ පිහිටුවීමටත්, ඊට අවශ්‍ය පුහුණු ශ්‍රමය ශ්‍රී ලංකාවෙන් ලබාදීමටත් අප සැලසුම් කරමින් සිටිනවා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර වීසා සම්බන්ධයෙන් පවතින සීමාවන් තවත් ලිහිල් කිරීමටත් අප මේ සංචාරයේ දී තීරණය කරනු ලැබුවා. මේ තීරණයත් සමග මාලදිවයින් සිසු සිසුවියන්ට ශ්‍රී ලංකාවට පැමිණ අධ්‍යාපනය ලැබීම සඳහා වන පහසුකම තව තවත් පුළුල් වන බව කිව යුතුයි.
ශ්‍රී ලාංකික උසස් අධ්‍යාපන ආයතන මාලදිවයිනේ පිහිටුවීම සඳහා පවතින ඉඩකඩ පිළිබඳව ද අප සොයා බලමින් සිටිනවා.”