මුලතිව් අලම්පිල් මුහුදු වෙරළට හිදීසියේම ගොඩ ගැසූ කිලෝ 9000ක පමණ බරකින් යුතු දැවැන්ත මිණිමුතු මොරෙකුගේ දිවි බේරා ගැනීමට නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් පසුගිය(10 දා) පියවර ගෙන තිබුණි.
වඳවී යෑමේ තර්ජනයකට ලක්ව සිටින මෙම මෝර විශේෂය ඉතා දුර්ලභ ගනයේ සත්ත්වයෙකු වන අතර, ශ්‍රීලංකාවේ ඇල්ලීමටද තහනම් මත්ස්‍ය විශේෂයක් වන බවට වාර්තාවේ.
මුලතිව්, අලම්පිල් මුහුදු වෙරළට මෙම මෝරා ගොඩ ගැසීමෙන් පසුව මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය අලම්පිල් පිහිටි නාවික හමුදා අනුකණ්ඩය වෙත දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ඇතුළු නිලධාරීන් එම අවස්ථාවේදීම මෙම මෝරා බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
මෝර පවුලේ විශාලතම වර්ගයට අයත් මෙම මිණිමුතු මෝරා මීටර් 09ක පමණ දිගකින් යුක්ත වන අතර, මෙම සත්ත්වයා අවුරුදු 70ත් 100ත් අතර කාලයක් ජීවත් වන මත්සයෙකු වන බවට වාර්තාවේ.
මෙම මෝරා මුහුදේ සැඩ පහරට ලක්ව ගසාගෙන පැමිණ තිබූ අතර, එහිදී නාවික හමුදා නිලධාරීන් විසින් නාවික යාත්‍රා උපයෝගී කොටගෙන මෙම සත්ත්වයාව නාවික සැතපුම් 03ක් පමණ දුරකට ඇදගෙන ගොස් නිදහස් කොට මුහුදට යවන ලදී.