කූට ලෙස මහජනතාව රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයාගත් කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පෙරේදා (08දා) අත්අඩංගුවට ගත් බව කටුනායක පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල සහ දැරණියගල යන ප්රදේශවල පදිංචි 39, 40 හා 70 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.
රුවන්වැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පැවසෙන 13 හැවිරිදි රෝගී දරුවෙකුගේ ඡායාරූප ප්රදර්ශනය කරමින්, එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ආධාර කරන ලෙස පවසමින් සැකකරුවන් මෙම මුදල් උපයාගෙන තිබේ.
අදාළ දරුවා පසුගිය පෙබරවාරි 24 වැනිදා මරණයට පත්ව ඇති අතර, ඉන් සති දෙකකට පසුවද දරුවා බේරා ගැනීමට යැයි පවසමින් යම්යම් පිරිස් මුදල් එකතු කරන බවට පොලීසියට ලද තොරතුරක් මත කටුනායක, ඇවරිවත්ත ප්රදේශයේ මුදල් එකතු කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් ත්රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වංචනිකව උපයා ගත් බවට සැකකෙරෙන මුදල් තොගයක් හා මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ආධාර පත්ර තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 40 හැවිරිදි පුද්ගලයා යුද හමුදාවේ සේවය කළ විවාහකයෙකු අයෙකු වන අතර, මියගිය දරුවාගේ ඥාතියෙකු බවත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගැනුණු 70 හැවිරිදි පුද්ගලයා සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මාමා කෙනෙකු බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් දිවයිනේ විවිධ ප්රදේශවලින් මෙලෙස මුදල් එකතු කර ඇති බවත්, ඔවුන් කටුනායක නගරයට පැමිණ වෙළෙඳ සැල්වලට සහ කර්මාන්ත ශාලාවලට ගොස් මුදල් රැස්කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය. අත්අඩංගුවට පත් සැකකරුවන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සීදුව - ප්රසාද් මුතුකුඩ