පාස්කු ප්‍රහාරය අතීතයේ සිදුවූ අමතක කළහැකි සිදුවීමක් ලෙස අමතක නොකර සිදුවූ ව්‍යසනකාරී සිදුවීමට හේතුවූකාරනා හරිහැටි සොයා බලා ස්ථිර විසදුම් ලබාදිය යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පැවසූහ.අද දහවල් අගරදගුරු නිළ නිවසේදී මාධ්‍ය අමතමින් උන්වහන්සේ ඒ බැව් මෙසේ පැවසීය.
”අපේ රටතුළ අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ දේශපාලන නායකයින් යටතේ සැඟවී සංවිධානය වෙමින් පැවති ඉතාමත්ම දරුණු අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා පිළිවෙලක පුපුරායෑම තමයි පාස්කු ඉරුදින සිදුවුණේ. ඒ වැඩ පිළිවෙල නිවැරදිව අධ්‍යනය නොකර , ඒ වැඩපිළිවෙල හරියට මෙල්ල නොකර, එම ප්‍රහාරයට හේතුව මොකක්ද කියලා හොයන්නේ නැතිව, උඩින් පල්ලෙන් අතගගා ඒකට පැලැස්තර ගහන්නට ගියොත් කවදාවත් මේ ව්‍යසනයෙන් රට මුදවාගන්න කොයිම දේශපාලන නායකයෙකුටවත් හම්බවෙන්නේ නැහැ.
ඒ නිසා අපි අපේ රටේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා පාස්කු ප්‍රහාරය අතීතයේ සිදුවූ පොඩි සිදුවීමක්, අමතක කරලා දාන්න පුලුවන් සිදුවීමක් ලෙස අමතක කරලා දාන්න ලෑස්තිවෙන්න එපා.ඒක මේ රට ඇතුලේ සිදුවීගෙන යන විනාශකාරී වැඩපිළිවෙලක්.ඒ වැඩ පිළිවෙල මොකක්ද කියලා හරියටම හොයලා බලලා හදුනාගෙන අවධානය 100%ක් දීලා ඒ අවශ්‍ය ව්‍යුහ සකස් කරලා ස්ථිර සාර වැඩ පිළිවෙලක් දියත් කරන්න.
මේක නීති පති තුමාට සම්පූර්ණයෙන් බාරදීලා අතහෝදගෙන සිටීම නොවෙයි, මීට වඩා ශක්තිමත් විමර්ශන සිදුකරලා, මේවාට මුදල් එන්නේ කොහෙන්ද?මේවා පිටිපස්සේ ඉන්නේ කවුද ? හිටියේ කවුද? මේවාට දේශපාලන අනුග්‍රහය දක්වන්නේ කවුද? කියන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න ස්ථිරසාර වැඩ පිළිවෙලක් දියත් කරන්න කියන එක තමයි අපි බලවත් අයගෙන් ඉල්ලා සිටින්නේ.එහෙම නැතිව අපිට සැමරුමක් කරලා වැඩක් නැහැ.සැමරුම නොවේ වැදගත්. මේ ව්‍යුහය මුලිනුපුටා දැමීමයි සිදුවිය යුත්තේ.ඒ අනුව පාස්කු ප්‍රහාරයට හේතුවුණ කාරනා හරි හැටියෙන් විග්රහ කරන්න කියන දේ අපි ඉල්ලා සිටිනවා.”
ඊයේ (18)දා බොරුල්ල කනත්තේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරමින් ඉදිවූ ස්මාරකයකය විවෘත කරමින් උන්වහන්සේ විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් මෙලෙස ප්‍රශ්න කරනු ලැබීය.
ප්රශ්නය - ඔබවහන්සේ ඊයේ ප්‍රකාශයක් කළා ආගමික අන්තවාදය අතකොලුවක් කරගෙන තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගන්න උත්සහ කරන පිරිසක් තමයි මේ පාස්කු ප්‍රහාරය එල්ල කළේ කියලා.
පිළිතුර - මම ඊයේ කියපු දේ වැරදියට තේරුම්ගෙන තිබෙනවා. මොකද මම කිව්වේ නෑ රටේ මුස්ලීම් අන්තවාදයක් සහ ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කිසිදු දේශපාලන බලවේගයක් ගැන නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ ජාත්‍යන්තර වහබ්වාදය කියන අදහස ඇතිවයි කිව්වේ. අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් මීට වඩා පැහැදිලි පිළිවෙලක් ඇතිව වැඩපිළිවෙලකින් මේ කරුණු සොයා බලා මේවා ඉදිරියට සිදු නොවෙන්න කටයුතු කරන්න කියලා.