මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ සමූහ මිනිවළේ සිදු කරන ලද කැනීම් තුළින් ඊයේ (30දා) අවසන් වන විට කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන සිරුරු කොටස් 12ක් හමු වී ඇති බව මේ පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ මහතා පැවසීය.
ඒ අනුව මේ වන විට සිදු කළ කැනීම්වලින් හමුවූ සම්පූර්ණ සිරුරු ප්‍රමාණය 114 ක් බවද ඒ මහතා පවසා සිටියේය.
මේ අතර අද (31දා) දිනයේද මන්නාරම් සමූහ මිනිස් වළේ කැනීම් කටයුතු 62 වැනි දිනට සිදු කෙරෙන අතර කුඩා දරුවන්ගේ සිරුරු කොටස් ප්‍රමාණය දෙවනුව සිදු කරන විශ්ලේෂණයෙන් වෙනස් විය හැකි බවද වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
මේ වන විට සිදු කරන මූලික කැනීම්වලදී දරුවන්ගේ බවට සැකකෙරෙන සිරුරු අස්ථි කොටස් 12 ක් සොයාගෙන ඇති බවත් සම්පූර්ණ විශ්ලේෂණයකින් පසු එහි නියමිත ප්‍රමාණය පිළිබඳ අවසන් තීරණයකට එළඹෙන බවද හෙතෙම කියා සිටියේය.
අදාළ වළෙන් ගොඩගත් සිරුරු 114 න් සිරුරු 108 කට අදාළ අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරික්ෂා කිරීමේ රසායනාගාරයකට යැවීමට නියමිත බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.