මධ්‍යම කඳුකරයේ වගා කෙරෙන එළවළු ඇතුළු සියලු භෝග වර්ග සඳහා භාවිතා කෙරෙන පොහොරවලදී පොස්පරස් අවම පොහොර වර්ග නිර්දේශ කිරීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.
ඊයේ (25 දා) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී භෝග වගාව සඳහා රසායනික පොහොර භාවිතා කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ පොහොර පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන් රැසක් සහභාගි වූ අතර, එම විද්වතුන් අවධාරණය කර සිටියේ මධ්‍යම කඳුකරයේ පාංශු ස්ථරයෙහි අඩංගු ස්වභාවික පොස්පරස් යෙදීම තුළින් පස නිසරුවීම මෙන්ම පසෙහි ශක්‍යතාවය විනාශ වන බවයි. මෙහිදී අවසානයේ පස මියයන බවත්, කිසිදු භෝග වර්ගයක් වගාකළ නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත් එම විද්වත්හු අවධාරණය කළහ.
මෙම කාරණය සැලකිල්ලට ගනිමින් මධ්‍යම කඳුකරයේ මෙන්ම දිවයිනේ සෙසු ප්රදේශවලද පස්වල අඩංගුවන පොස්පරස් ප්‍රතිශතය සැලකිල්ලට ගනිමින් රසායනික පොහොර යෙදීම සම්බන්ධයෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක් වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව පළමු පියවර යටතේ මධ්‍යම කඳුකරයේ බෝග වගාව සඳහා යොදා ගන්නා රසායනික පොහොරවලදී අවම පොස්පරස් ප්‍රමාණයක් සහිත පොහොර වර්ග හඳුන්වා දීමට හා නිරේදේශ කිරීමට තීරණය කෙරිණි.