මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තමන් දරුණු මතයක් දරන බවත් අග්‍රාමාත්‍යවරයා වීමෙන් පසුව ඒ සඳහා සම්බන්ධවන්නන්ට අනිවාර්යයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (9) රාත්‍රියේ කුරුණෑගලදී පැවති සංවාදශීලි ජනහමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් වන අශෝක් අබේසිංහ සහ නලීන් බණ්ඩාර මහත්වරුන් එක්ව මෙම ජන හමුව සංවිධානය කළහ.
මත්ද්‍රව්‍ය වලට සහ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කරනවා හා සමානවම මත්පැන් සහ දුම්වැටි සමාජයෙන් පුළුල් ලෙස අවම කිරීමේ වැඩ සටහනක් තමන් බලයට පැමිණි පසු ක්‍රියාත්මක කරන බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
මෙම සංවාදශීලි ජන හමුවේදී ඊට සහභාගි වූ ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
“මේ මැතිවරණයෙන් රටේ ජනතාව තීරණය කළාම මම රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පුළුල් සෞඛ්‍ය සේවාවක් රට තුළ ක්‍රියාවට නංවනවා. දුම්වැටි සහ මත්පැන් සමාජයෙන් අවම කරනවා කීවාම කවුරුත් ඒක විහිළුවකට ගන්න එපා. මොකද මේවා භාවිතයෙන් ශරීර සෞඛ්‍යයට සිදුවන අගතිය ගැන අපි මීට වඩා පූළුල් ලෙස සිතන්න ඕනෑ. රාජිත සේනාරත්න අමාත්‍යතුමාට මම ප්‍රශංසා කරනවා. එතුමාට කශේරුකාවක් තිබුණා මත්පැන් මාෆියාවයි දුම්වැටි මාෆියාවයි අභියෝගයට ලක් කරන්න.
අපි කළ යුත්තේ රටේ වත්මන් දරු පරම්පරාවයි අනාගත දරු පරම්පරාවයි නිවැරදිව රැක ගැනීමයි. මේවා ගැන කීවාම ලැබෙන ජන්ද අඩු වෙයි. නිවැරදි දේ රට වෙනුවෙන් කරලා පරදින එක හොඳයි වැරදි දේ කරලා දිනනවාට වඩා. මම මගේ ජීවිතයේ දැඩි තීන්දු අරන් තියෙන කෙනෙක්.
මහින්ද රාජපක්ෂට වැඩිය මට විවිධ විෂයයන් සම්බන්ධයෙන් ඉතා ගැඹුරු දැනුමක් සහ පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කරන්න යන්න එපා. මට දුකයි මහින්ද රාජපක්ෂ සමග මාව සන්සන්දනය කිරීම ගැන”
