යහපාලන රජය සමයේ මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරිමෙන් සිදුවූ හානිය පිළිබදව ගණනය කර නිවැරදි වාර්තාවක් වහාම ලබාදෙන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන් තොටුපළ බලධාරින්ට උපදෙස් දෙයි.
ඇමතිවරයා අවධාරණය කළේ සතියක් තුළ එම වාර්තාව තමන්ට ලැබිය යුතු බවයි.
ගුවන් තොටුපළ විෂයභාර කැබිනට් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සහ ගුවන් සේවා හා අපනයන සැකසුම් කළාප රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් තොටුපළ ඉදිරි කටයුතු පිළිබද පැවති විශේෂ සාකච්ඡාවක දි ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවේ දී වෘත්තිය සමිති නියෝජිතයන් පෙන්වා දුන්නේ මත්තල වී ගබඩා කිරීම නිසා සිදුවු හානිය සම්බන්ධයෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවැරදි තක්සේරුවක් මෙතෙක් කර නොමැති බවයි. ඒ පිළිබදව ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම සමාගමේ මූල්‍ය ප්‍රධානියාගෙන් විමසු විට ඔහු ද එය පිළිගත්තේය. ඇමතිවරයා මෙහිදි අවධාරණය කළේ මේ පිළිබදව නිවැරදි තක්සේරුවක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
පසුගිය යහපාලන රජය බලයට පත්වීමෙන් පසු 2015 යල කන්නයේ දී හම්බන්තොට මත්තල ගුවන් තොටුපළේ කාර්ගෝ ගොඩනැගිල්ලක වී මෙට්‍රික් ටොන් 4000 ක් ගබඩා කිරීමට කටයුතු කළේ යල කන්නයේ දී වි ගබඩා කිරීම සදහා අවශ්‍ය ගබඩා පහසුකම් නොමැති බව පවසමිනි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 8100 ක් ගබඩා කිරීම සදහා පහසුකම් තිබිය දි මත්තල ගුවන් තොටුපළේ වි ගබඩා කළ බවට එවකට විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ නාමල් රාජපක්ෂ මහතා යහපාලන රජයට චෝදනා කළේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අවධාරණය කළේ මත්තල ගුවන් තොටුපළේ වි ගබඩා කිරිම හේතුවෙන් යහපාලන රජය සිදු කළ හානිය පිළිබදව රට දැනුවත් කල යුතු බවයි. මත්තල ගුවන් තොටුපළ ස්වාභාවික මරණයකට ලක් කිරීමට ඇති අවශ්‍යතාවය මත පසුගිය යහපාලන ආණ්ඩුව එම ගුවන් තොටුපළ නොසලකා හැරිය බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු මේ වන විට ඒ ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරිම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඇමතිවරයා මෙහිදි කියාසිටියේය. විශේෂයෙන්ම මත්තල ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ගුවන් සමාගම් කීපයක් සමග පැවති සාකච්ඡා සාර්ථක වි ඇතැයි ද ඇමතිවරයා මෙහිදි කියාසිටියේය.
