අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීමේ වැරදි නවයක් මත ඡන්දය හා මනාපය ප්‍රතික්ෂේප විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
නිවැරදි ආකාරයට ඡන්දය භාවිත කිරීම යටතේ පිළිගත් දේශපාලන පක්ෂයේ නම හා සලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායම් අංකය සහ ලකුණ ඉදිරියෙන් කතිරය ගසා ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මනාප අංකය සඳහන් කොටුව මත කතිරය යෙදීමෙන් මනාපය සලකුණු කළ හැකි බවත් අපේක්ෂකයන් තිදෙනෙකු හෝ තිදෙනෙකුට අඩු සංඛ්‍යාවකට මනාපය ලකුණු කළ හැකි බවත් එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ඡන්දය ගණන් කිරීමේදී ඡන්ද ප්‍රතික්ෂේප විය හැකි කාරණා අතර, කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ඡන්දය සලකුණු කර නොමැති නම් ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වන බව එම කොමිසම සඳහන් කරයි.
පිළිගත් දේශපාලන පක්ෂ එකකට වැඩි ප්‍රමාණයකට ඡන්දය සලකුණු කර තිබීම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වීමට හේතුවක් වන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්දදායකයා හඳුනාගත හැකි ආකාරයට ඡන්ද පත්‍රිකාව මත යමක් ලිවීම හා සලකුණු කිරීම හෝ ඡන්දය සලකුණු කර ඇත්තේ කුමන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකටද යන්න අවිනිශ්චිත වේ නම් ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වන බවද එම කොමිසම පෙන්වා දෙයි.
ඡන්දය නිසිලෙස සලකුණු කර නොමැති ඡන්ද පත්‍රිකා මනාප ගණන් කිරීමේදී සලකා නොබලන බවත් අපේක්ෂකයන් තිදෙනෙකුට වැඩි සංඛ්‍යාවකට මනාපය සලකුනු කර ඇති හෝ මනාපය සලකුණු කර ඇත්තේ කුමන අපේක්ෂකයාටද යන්න අවිනිශ්චිත ඡන්ද පත්‍රිකා මනාපය ගණන් කිරීමට වලංගු නොවන බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.