මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයන් නොමැති වුවද, විදේශීය නිරීක්ෂණ සංවිධාන සමග සම්බන්ධ වෙමින් නියමිත ප්‍රමිතීන්ට අනුව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කරන බව නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.
පැෆරල් සංවිධානය හා මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 9000ක් යෙදවීමට සැලසුම් කර තිබේ.
තම සංවිධානය නිරීක්ෂකයන් 6000ක් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා යොදවන බවත්, මේ අනුව දැනටමත් නිරීක්ෂකයන් 5000 නිරීක්ෂණ කටයුතු සඳහා යොදවා සිටින බවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.
මැතිවරණය පැවැත්වෙන දින තවත් නිරීක්ෂකයන් 1000ක් යෙදවීමට කටයුතු කරන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මෙවර මැතිවරණය සඳහා නිරීක්ෂකයන් තුන්දහසකට අධික ප්‍රමාණයක් යොදවන බවත්, දැනටමත් නිරීක්ෂකයින් 300කට අධික පිරිසක් යොදවා සිටින බවත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
විදේශීය නිරීක්ෂකයන් මෙවර මැතිවරණය නිරීක්ෂණය නොකළද විදේශීය නිරීක්ෂණ සංවිධාන සමග සම්බන්ධ වෙමින් නියමිත ප්‍රමිතීන්ට අනුව නිරීක්ෂණ කටයුතු සිදු කරන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේය.