ඉතිහාසයේ පළමු වරට මැතිවරණයක් සඳහා මැතිවරණ කොමිසම සමග උරෙනුර ගැටී කටයුතු කරන්නට මෙවර සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදු වී ඇති බවත්, මැතිවරණයේ විවිධ කටයුතු සඳහා සෞඛ්‍ය ක්ෂේත්රයේ 8,000ක පිරිසක් මේ වනවිට යොමුකර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා අද (31දා) දක්වා පහසුකම් ලබා දී ඇති බවත්, නිවෙස්වල නිරෝධායනයේ යෙදෙන්නන්ට ජන්දය දිනයේ (අගෝස්තු 05) සවස පහසුකම් සලස්වා දී ඇති බවත් ඔහු කියා සිටියේ අද (30දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා,
“ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍ය අමාත්‍යාංශයට මැතිවරණ කොමිසම සමග උරෙනුර ගැටී මැතිවරණයක් පැවැත්වීම සඳහා කටයුතු කරන්න මෙවර සිදු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි විශාල සූදානමක් ගෙන තිබෙනවා. ඒ සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබෙනවා. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් අපි ලබා දී තිබෙනවා.
ඒ වගේම අද දිනයේත් (30දා) අවශ්‍ය උපදෙස් සහිත චක්‍රලේඛයකට මා විසින් අත්සන් තැබුවා. මේ අවස්ථාව වනවිට සෞඛ්‍ය ක්ෂේත්රයේ 8000ක පමණ පිරිසක් මැතිවරණයේ විවිධ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. විශේෂයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් විසින් ඒ ඒ දිස්ත්‍රික්කවල මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබනවා. ඉන් එහාට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමන්ගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුලු ක්ෂේත්‍ර නිලධාරීන් මේ මැතිවරණය සඳහා යොදවා තිබෙනවා.
මෙහිදී ඇතැම් කාර්යමණ්ඩල ජන්දය දැමීමේ මධ්‍යස්ථාන සඳහා අනුයුක්ත කර තිබෙන අතරම ඇතැම් කාර්යමණ්ඩල ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක කටයුතු අධීක්ෂණය සඳහා යොදවා තිබෙනවා. මෙහිදී නිරෝධායන මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ජන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු 31 වැනිදා සිදු වෙනු ඇති. ඒ අතරම ගෘහස්ථව නිරෝධායනයට ලක්කර ඇති අයට ජන්ද දිනයේදී, එනම් අගෝස්තු 05 වැනිදා අනෙක් අය ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසු පස්වරුවේ ජන්දය භාවිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ගෘහස්ථ නිරෝධායනයට ලක් කර ඇති අයට කිසිදු ගැටලුවකින් තොරව ජන්දය පාවිච්චි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ඒ ඒ ජන්ද මධ්‍යස්ථානවලින් සලස්වා දී තිබෙනවා.
ජන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලටත් සෞඛ්‍ය කාර්යමණ්ඩල යෙදවීමට කටයුතු කරනු ලබනවා. ප්‍රතිඵල විකාශය කරන දිනය දක්වා සෞඛ්‍ය කාර්යමණ්ඩල මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙනවා” යනුවෙන් කියා සිටියේය.