“මිතුරන් අවශ්‍ය, මිතුරන් අවශ්‍යම අවස්ථාවේ දී” බවත් කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව දක්වන කෘතවේදීත්වයට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඇතුළු නියෝජිත පිරිසක් චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය. මෙම හමුව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදී සිදුවිය.
කෝවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමට හා එයට එරෙහිව චීනය මුහුණ දෙන ආකාරය පිළිබඳව තානාපතිවරයා මෙහි දී දීර්ඝ කරුණු දැක්වීමක් කර තිබේ.
වෛරසය හේතුවෙන් විපතට පත් පවුල් වලට කණගාටුව පළ කළ පාත්ෆයින්ඩර් පදනමේ නියෝජිතයෝ රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර විපත් මැඩ ධෛර්යයෙන් නැගී සිටීමට චීන සමූහාණ්ඩුවට ශක්තිය ඇති බව ප්‍රකාශ කළේය.
කොවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සඳහා චීන රජය මේ දක්වා ගෙන ඇති පියවර පැහැදිලි කළ තානාපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් ජනතාව දැනුවත්කර රෝගය පැතිරීම වළක්වාගැනීමට හැකිවූ බවද පැවැසීය.
වෛරසයේ බලපෑම මේ වන විට උපරිම මටට්මට ඇති බවත් ඉදිරි දිනවල ක්‍රමානුකූලව රෝගීන් වාර්තා වීම අඩුවනු ඇති බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.
වෛරසය පැතිරීම පාලනය කිරිම සඳහා සංචාරකයන්ට ලංකාවද ඇතුළුව චීන ජාතිකයන් කරන සංචාර තාවකාලිකව නවතා දමන ලෙස චීන රජය එරට ජනතාවට උපදෙස් දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
මෑත කාලය තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩිම ප්‍රමාණයක් පැමිණෙන දෙවැනි රට බවට චීනය පත්ව ඇති බවත් මේ වන විට යම්තාක් දුරකට බලපෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත්වෙනු ඇති බවත් ඒ සඳහා සෑම පියවරක්ම ගන්නා බවත් චීන තානාපතිවරයා පැවැසීය.
ශ්‍රී ලාංකික සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් චීනයේ වුහාන් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය ලබන අතර ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව හැරුණවිට මෙරට සිසුන්ට ඉගෙනගැනීම සඳහා වැඩිම පහසුකම් සපයන රට චීනය බව මෙහි දී මිලින්ද මොරගොඩ මහතා පෙන්වා දී ඇත.
පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී ලු චොන්ග් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.