මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි ට්‍රෝලර් යාත්‍රාවක් ගාල්ල වරාය ආසන්න ජාකොටුව වැල්ලේදී අද (31) උදෑසන නාවික හමුදාවේ ද සහය ඇතිව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5900ක් සහ හෙරොයින් ග්‍රෑම් 2100ක් තිබී ඇති අතර යාත්‍රාවේ සිටි 04 දෙනකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවත් එක් පුද්ගලයකු පලාගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, නුවරඑළිය, දෙවුන්දර සහ පානම පදිංචිකරුවන් 04 දෙනෙකි. යාත්‍රාවේ ප්‍රධානියා පළා ගොස් ඇති අතර ඔහු දෙවුන්දර පදිංචිකරුවකු බව ද මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මෙම ට්‍රෝලර් යාත්‍රාව සම්බන්දව ලැබුණු තොරතුරක් අනුව බුද්ධි අංශ ඒ පිළිබඳ අවධානයෙන් සිට ඇති බවත් ගාල්ල වරාය ආසන්නයේ දී නාවික හමුදා යාත්‍රාවක් එහි මඟ හරස් කළ විට ට්‍රෝලර් යාත්‍රාව තම මඟ වෙනස් කරමින් ගොඩබිම දෙසට යාත්‍රා කර ගාල්ල ජාකොටුව වැල්ල ආසන්නයට පැමිණ ඇති බවත් සඳහන් වේ.
හලාවත සිට පැමිණි මෙම යාත්‍රාව මහ මුහුදේ දී ඉරාක නැවකින් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එය විවිධ ස්ථානයන්ට බෙදා දෙමින් පැමිණ ඇති බවත් මෙම තොගය හික්කඩුවේ පිරිසකට ලබාදීමට පැමිණි බවත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස තවමත් නාවික හමුදාව භාරයේ සිටින අතර අද (31) සවස ඔවුන් පොලිසියට භාර දුන් පසු අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.