මීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසලදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන අද (28 ) පස්වරුවේ බලපිටිය අධීකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතරදෙනා පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්රාත් හංසදේව සමරදිවාකර මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මීටියාගොඩ ,ලිහිනියාගල පදිංචි හක්කිමුණි හර්ෂන ලක්මාල්,මීටියාගොඩ ,දොඹන්විල පදිංචි හික්කඩුව තුඩුවගේ අකිල සජිත්,මීටියාගොඩ එරනවිල පදිංචි රූපසිංහ ගයාන් පුෂ්පකුමාර හා එම ලිපිනයේම පදිංචි මහදුර මහිදු හේෂාන් නමැති සැකකරුවන් සිවුදෙනාය.
සැකකරුවන් අතින් ඝාතනයවූවේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන මාවත ලිපිනයේ පදිංචි යූ.එච්. තරිදු ගුනසේකර නමැති විසිහතර හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු ඝාතනය කර තිබුණේ ජනවාරි මස 25 වැනිදා පස්වරු 6.45ට පමණ මීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ ඉදිරිපිටදීය.
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු භාරවීමෙන් පසු මීටියාගොඩ පොලීසිය විසින් ඔවුන් සිව්දෙනා සැකපිට ප්රශ්න කිරීම සදහා ජනවාරි මස 26 වැනිදා පස්වරුවේදී අත් අඩංගුවට ගන්නා ලදි.
සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් මේ සැකකරුවන් සිව්දෙනා පළමූ වරට ඊයේ (27 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදි බලපිටිය මහේස්ත්රාත් හංසදේව සමරදිවාකර මහතා අද (28 ) දක්වා ඔවුන් සිව්දෙනා රදවා තබාගෙන ප්රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දුන්නේය.
ඒ අනුව මේ සැකකරුවන් සිව්දෙනා අද (28 ) දෙවැනි වරටත් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් සිව්දෙනා පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්රාත් හංසදේව සමරදිවාකර මහතා නියෝග කළේය.
කරන්දෙණිය එම් .සුසිල් ප්රියන්ත