උතුරු මැද පළාත් සභාවේ හිටපු ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 28 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 48 ක් ලබා සිටි දෙවැනි විත්තිකරු චෝදනා 48න් චෝදනා 31ට වරදකරු බවට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ හිටපු විනිසුරු සහ ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (21දා) නියම කළාය.
ඒ අනුව පළමු දෙවැනි සහ තුන්වැනි චෝදනාවන්ට විත්තිකරුට වසර 20 බැගින් වෙන් වෙන් වශයෙන් වසර 60 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම් කාලය වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට ද නියෝග කරනු ලැබුවාය.
ඊට අමතරව 4 සිට 31 දක්වා සියලු අධිචෝදනවන්ට ද විත්තිකරු වරදකරු බවට නිගමනය කල මහාධිකරණ විනිසුරුවරිය එම සියලු චෝදනාවන්ට විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කළාය.
විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නගා තිබු 32 සිට 48 දක්වා චෝදනාවන්ට ඔහු නිවැරදිකරු බවට නිගමනය කල මහාධිකරණ විනිසුරුවරිය එම චෝදනාවන්ගෙන් විත්තිකරු නිදහස් කිරීමටද නියෝග කළාය.
විත්තිකරුට අයත් සියලු දේපල රාජ සන්තක කිරීමටද තවදුරටත් නියෝග කල මහාධිකරණ විනිසුරුවරිය එල්ටීටීඊ සංවිධානයේ නායක වේලිපිල්ලේ ප්රභාකරන් විසින් විත්තිකරුට තෑගි ලෙස ලබා දී තිබු ඉහළ වටිනාකමකින් යුත් ස්විස් වර්ගයේ අත් ඔරලෝසුව සහ සයිනයිට් කරල සහ කමීසය ත්රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත කෞතුකාගාරයට භාර දෙන ලෙසටද නියෝග කෙරිණි.
මෙසේ දඩුවම් නියම වූයේ මැදවච්චිය, සියඹලාගස්කඩ මොහොමඩ් උමාර් හබ්තාබ් නැමැත්තාටයි.
මේ අතර මෙම අපරාධයට අධාර අනුබල දුන් බවටත් ඒ සඳහා කුමන්ත්රණය කල බවටත් අධිකරණය හමුවේ වරද පිළිගත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා හැරිම් අංශයේ හිටපු කර්නල්වරයෙකුට වසර 20 බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරු මැද පළාත් බද මහාධිකරණයෙන් මීට පෙර නියම කළේය.
මෙම අපරාධයට අධාර අනුබල දීමේ වරදට වසර දහයක්ද කුමන්ත්රණය කිරීමේ වරදට වසර දහයක්ද වශයෙන් වෙන් වෙන්ව මෙම විසි වසරක බරපතල වැඩ සහිත සිර දඩුවම නියම කෙරිණ.
මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනෙකු අනුරාධපුරයේ දී මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් ඝාතනය කෙරුණේ 2008 වසරේ ඔක්තෝබර් 6 වැනි දාය.