සේවාදායකයකු හමුවීම සඳහා පෑලියගොඩ පොලිසියට ගිය බව කියන නීතී ශිෂ්‍ය මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සියළු පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට අද (03දා) නියම කළේය.
කෲර වධහිංසා පනත යටතේ සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන ලෙසද නීතීපතිවරයා වැඩිදුරටත් පොලිස්පතිවරයාට නියම කොට ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන පෑලියගොඩ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් සිවිදෙනෙකු මේ වන විට වැඩ තහනමට ලක් කොට ඇත.
මිගාර ගුණරත්න නමැත්තාට පහර දීමේ සිද්ධියට සම්බන්ධයෙන් මෙන්ම මිගාර ගුණරත්න නමැත්තා විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති පැමිණිලි දෙකක් මුලික කරගෙන පොලිස් විශේෂ විමර්ශන අංශ විසින් මේ වන විට විමර්ශන ආරම්භ කොට ඇත.
අදාල පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ උපදෙස් ලබාදෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව නීතීපතිවරයා මෙලෙස උපදෙස් දී ඇතැයි වාර්තාවේ.