මේ ආණ්ඩුව මුලින්ම උත්සාහ කළේ සහරාන් ඉස්සරහට දමා තුනෙන් දෙකේ බලය ලබා ගැනිමට බවත් ඒක බැරි වු නිසා ඊළඟට කොරෝනා පිටේ ගිහින් තුනෙන් දෙක ලබා ගන්න බැලු බවත් එයාලගේ අයටම සහනාධාර බෙදලා දැන් ඒකත් අවුල් වි ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (19දා) අනුරාධපුර නගරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“මේ වෙලාවේ රටේ සෞඛ්‍ය අංශය, රටේ ආරක්ෂක අංශය කියන දේ අහල වැඩ කළ යුතුයි. රටට අවැඩක් නොවන දේ කළ යුතුයි.
ඇති වෙලා තියන මේ වසංගතය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ආගමික නායකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු රටේ සියලු ජනතාව ඒකරාශී වෙලා සහයෝගය ලබාදී මේ ගත්ත ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යන්න පුලුවන් නම් ශ්‍රී ලංකාව වෛරසය තුරන් කිරීම හමුවේ ලෝකයට දෙවැනි වෙන්නේ නැහැ.
මේ වසංගතයෙන් ශ්‍රී ලංකාවාසී ජනතාව බේරලා මේ රටෙන් එය තුරන් කරලා තමයි ඡන්දයකට ලෑස්ති වෙන්න ඕනේ.
මේ වසංගතය අස්සේ ලබා දෙන රු 5000 ගැන කතා කළ යුතුමයි. දිසාපතිවරයෙක් රාජ්‍ය නිලධාරීන් පිරිසක් ආරක්ෂක අංශ සාමාජිකයන් සිටියදී, මේ සහනාධාර සර්ව පාක්ෂිකව, සර්ව සාධාරණව බෙදිය හැකියි. මේ ඇතැමුන් මෙය ඡන්ද ව්‍යාපාරයක් කර ගෙන, ආණ්ඩු පක්ෂය නම් ලයිස්තු හදනවා ඒ අයට ඕන මිනිස්සුන්ට බඩු බෙදනවා පන්දාහ ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණේ ජනතාව මේ වෛරස හේතුවෙන් විපතට පත් වෙලා නැද්ද කියලා මම අහන්න කැමතියි. වහාම මේ තත්ත්වය නැති කළ යුතුයි. ඉදිරියේදී මෙයට විරුද්ධව මම උසාවි යන්න ලෑස්තියි. මේවා දැකලා රාජ්‍ය නිලධාරීන් මේ වෙලාවේ තුෂ්නිම්භූත වෙලා කර කියා ගත නොහැකිව සිටිනවා”.
එප්පාවල - තිසර සමල්