ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පවසා සිදුකර තිබෙන සංශෝධනය නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සැලකීමට හැකියාව ලැබෙන බවත් මෙය ඉතාමත් භයානක දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වර්තමාන ආණ්ඩුව පොරොන්දු වී වසර තුනහමාරක් ගතවී තිබුණද මෙතෙක් එය සිදුනොකළ බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
නව සංශෝධන පනතට අනුව ඕනෑම දුරකට සංවාදයකට සවන්දීමේ හැකියාව හා බාධා කිරීමටත් හැකිලෙස නීති සකස්වී තිබෙන බවද අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය.
සංශෝධන පනත හරහා ඕනෑම රැස්වීමක් තහනම් කිරීමේ බලයකුත් නීතිමගින් පෙන්වාදී තිබෙන බවත්, මෙම බලය විදේශ කටයුතු ඇමැතිට හිමිවන බවද ප්රචාරක ලේකම්වරයා පැවසීය.
මෙම පනත විවිධ උවමනාවන් සඳහා ගෙන එන බවත්, ආණ්ඩුව කැමැත්තක් දක්වන්නැති ඕනෑම ආයතනයක වසරක කාලයකට තහනම් කිරීමටත් සංශෝධන පනතට ඇතුළත් කර තිබෙන බවත් මෙම පනත සම්මත කිරීම සඳහා මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද සඳහන් කළේය.