රටක ජනාධිපතිවරයා ගන්නා තීරණ ක්‍රියාවට නැංවීමට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සද් භාවයෙන් ක්‍රියා කළ යුතු බවත් එසේ නොවන රටක් කිසිදා ඉදිරියට යා නොහැකි බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය .
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසූවේ ,ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා දෙහිවල ප්‍රදේශයේ උත්සව ශාලාවක (29) දා සංවිධානය කර තිබූ, ශ්‍රී ලංකා මුස්ලිම් සම්මේලනය අමතමිනි .
“පසුගිය කාලයේ මුස්ලිම් ජනතාව පොහොට්ටුවට උදව් කළේ නෑ කියලා සමාජයේ මතයක් තිබුණා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යක් එදා අපේ ජයග්‍රහණය විජයග්රහණයක් කරන්නට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් අපි සමඟ අත්වැල් බැඳගත්තා.
ඔවුන්ට තර්ජනය කරමින් විවේචන කරමින් අපෙන් වෙන් කරන්න උත්සාහ කළ නමුත් ඒ උත්සාහය අසාර්ථක වුණු තැන, අසත්‍ය ප්‍රචාර කරමින් මුස්ලිම් ජනතාව නොමග යවන්නයි ක්‍රියා කලේ. අතරෙදි කතාවක් තිබුණා අපිට බුරියානි ඡන්දේ අලියාට කියලා,නමුත් දැන් කියන්න තියෙන්නේ බුරියානිත් අපිට ඡන්දෙත් අපිට කියලයි .
ඉතිහාසයේ කවරදාකවත් මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තිබ්බෙ නැහැ ඔවුන්ගේ අයිතිවාසිකම් රැක ගන්නත් ගෞරවනීය ලෙසින් සමාජයේ ජීවත් වෙන්නත් අපි කළ හැකි සියලු කැපවීම කලා.එදා මුස්ලිම් ජනතාව කොටියගෙන් බේරගන්න දිවිහිමියෙන් ක්‍රියා කළේත් අපි.
මුස්ලිම් ජනතාව හැටියට කිසිදා අපි ඔබව කොන් කරන්නේ නැහැ.නමුත් මතවාදයක් හදන්න යනවා අපි ඔබට උදව් කරන්නේ නැහැ කියල, එක සම්පූර්ණ අසත්‍ය කතාවක්.ඒ නිසා ඔබ සියලු දෙනා එකට එකතු වෙලා ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව ඉහළින්ම ජයග්‍රහණය කරන්නට කැප වෙන්නේ කියා ඉල්ලා සිටිනවා.එහෙම නොවුණොත් සෞභාග්‍යය දැක්ම ක්‍රියාවට නංවන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
පසුගිය අවුරුදු 5ක කාලය තුල මේ රටේ කිසිදු සංවර්ධනයක් සිදු වුණේ නැහැ .පාරක් හැදුනේ නෑ වැවක් හැදුනේ නෑ ගොවිතැනක් කළේ නැහැ. ඒකට ප්‍රධාන හේතු වුණේ පක්ෂ දෙකකින් මේ රටේ ජනපති සහ අගමැති පත්වීමයි. එහෙම වුණහම ජනාධිපතිවරයා ගන්න තීන්දු දෙපැත්තකට ඇදෙනවා.
ඒ තත්ත්වය හොඳින් පසුගිය අවුරුදු පහේ දී පෙන්නුම් කළා .එවන් තත්වයක් නැවත මේ රටේ ඇති වෙන්න ඉඩ දෙන්න බැහැ .ජනාධිපතිවරයන් කිසියම් තීරණයක් ගත්තොත් ඒ තීරණය ක්‍රියාත්මක කරන්න ඇගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය සද්භාවයෙන් ක්‍රියා කළ යුතුයි.ඒ නිසා ජනාධිපතිවරයාගෙ පැත්තේ ඉන්න කෙනෙකුට අගමැති කම ලැබෙන විදිහට මේ රටේ ජනතාව ඡන්දය පාවිච්චි කළ යුතුයි.”
මත්තෙගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
