කොරෝනා වෛරසය පැතිර යෑමත් සමග රට පුරා උග්‍ර බීජ හිඟයක් පවතින බවත් ගොවීන් වහාම දේශීය බීජ යළි භාවිතයට හුරු කිරීම රජයේ වගකීමක් බවත් ඒ සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපරිම සහයෝගය රජයට ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.
මාධ්‍ය හමුවක් දඹුල්ලේදී පවත්වමින් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ මේ වන විට දිවයිනේ බොහෝ ජනතාව ආහාර අර්බුදයට මුහුණදීම සඳහා වගා කටයුතු සිදු කිරීම ආරම්භ කොට ඇති බවය.
වෙළඳසැල්වල බීජ ලබා ගැනීම සඳහා ගොවීන් පෙළඹී සිටින බවත් එහෙත් දේශීය බීජ නොමැතිවීම හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
විදේශීය දෙමුහුන් බීජ මෙරටට ගෙන්වා වගා කිරීමේදී දෙවැනි පරම්පරාවක් නොමැති බවත් මෙම හේතුව නිසා දේශීය ගොවිතැනට හානි සිදුව ඇති බව ද පෙන්වා දුන්නේය.
මෙම දේශීය බීජ සඳහා ඇති ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් ඉතා සූක්ෂම ලෙස දෙමුහුන් බීජ ලබාගෙන දේශීය බීජ බවට කලවම් කොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව අලෙවි කිරීමේ ඡාවාරමක් ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලැබී ඇතැයි සැක සංකා මතු වී ඇති බවද පෙන්වා දුන්නේය.
දේශීය බීජ ප්‍රවර්ධනය කිරීම රජයේ කඩිනම් අවධානය යොමුවිය යුතු බවත් මෙම දේශීය බීජ මෙරට තුළම වැඩිදියුණු කොට වැඩි අස්වැන්නක් ලබාදීම සඳහා ලබාදීමට හැකි බවත් ඒ සඳහා විශේෂඥවරුන් ඕනෑ තරම් මෙරට සිටින බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම බීජ ඡාවාරම පිළිබඳව සහ බීජ සොයා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය රජයට ලබා දීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සූදානමින් සිටින බව නාමල් කරුණාරත්න මහතා පැවසීය.
නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය හමුවේ දී දෙමුහුන් බීජ වලින් හටගත් එළවලු සහ දේශීය බීජ මාධ්‍ය හමුවට ගෙනවිත් ඒවා පෙන්වා දෙමින් අවබෝධ කර දීම විශේෂත්වයකි.
