දරාගත නොහැකි මිල හේතුවෙන් බිත්තර පරිභෝජනය අඩු වී ඇති තිබෙන බැවින් බිත්තර හිඟයක් මේ වන විට රටේ නොපැවතියත් ඉදිරි උත්සව සමයේදී බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග බිත්තරයක මිල රුපියල් 80 සීමාව ඉක්මවා යාහැකි බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පවසයි .
ගැටඹේ ඕක්රේ හෝටලයේදී පැවති රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ 32 වන වාර්ෂික සමුළුව අවස්ථාවේ දී ඒ බව අවධාරණය කළ සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
“වෙළඳපොලේ දැනට බිත්තර මිල රුපියල් 50-60 සීමාවේ පවතින්නේ බිත්තර ඉල්ලුම සීඝ්‍ර වශයෙන් පහළ ගොස් තිබෙන නිසයි. එහෙත් ඉදිරියේදී බිත්තර පරිභෝජනය ඉහළ යාමත් සමග බිත්තර මිල සීඝ්‍ර වශයෙන් ඉහළ යා හැකියි.
අද වන විට ආහාර සුරක්ෂිතතාවය ඇති කර ගැනීම විශාල අභියෝගයක් වී තිබෙනවා. ළමා මන්දපෝෂණය, පෝෂණ ඌනතා, ආහාර හිගය වැනි දේ පිළිබඳවයි අද අපට කතා කරන්න වී තිබෙන්නේ. කුඩා දරුවා, ගැබිනි මව මෙන්ම කිරි දෙන මව දක්වා මේ ප්රශ්නය බලපා තිබෙනවා .
අද වන විට ප්‍රෝටීන බහුල ආහාර වල මිල ඉහළ යාමත් ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමත් විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. ජනතාවට අවශ්‍ය සත්ව ප්‍රෝටීන බාධාවකින් තොරව ලබා දීම සඳහායි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු අංශ වල වගකීම වන්නේ.
නමුත් නිලධාරීන් ගැටලු ගැන සාකච්ඡා සම්මන්ත්රණ තියෙනවා පමණයි . ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ඔවුන්ට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට අප සූදානම්.
විදුලි බිල, ඉන්ධන මිල, අමුද්‍රව්‍ය මිල, ආදී සියලු දේ වල මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණ හා මධ්‍යම පරිමාණ කුකුළු හා කිරි ගොවීන් දැඩි අර්බුදයක පැටලී සිටිනවා. මේ අවස්ථාවේදී තමයි පශු වෛද්‍යවරු බිම් මට්ටමට ගොස් ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙමින් ධෛර්යමත් කිරීම කළ යුත්තේ. නමුත් ක්ෂේත්‍ර නිලධාරීන්ට එම රාජකාරි කටයුතු කිරීම සඳහා සතියකට ලබාදෙන්නේ පෙට්‍රල් ලීටර් හතරයි.
මේ ගැන ඇමතිවරයාටත් නිලධාරීන්ටත් කිව්වා. නමුත් මේ වන තුරුත් විසඳුමක් නැහැ. ක්ෂේත්‍ර නිලධාරීන්ට බලපාන මේ ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබා නොදුන්නොත් ආහාර සුරක්ෂිතතාවයට ඉදිරියේදී විශාල ගැටළුවක් ඇති වෙයි.
මෙවර අයවැය මගින් කුන්ඩසාලේ අභිජනන මධ්‍යස්ථානය සංවර්ධනය කර ඉහළ මට්ටමකට ගෙන එන්න මුදල් වෙන් කොට තිබෙනවා. ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න නම් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් රැකගත යුතු වෙනවා. එම ව්‍යවසායකයන්ට ඉන්ධන මිල විදුලි බිල අමුද්‍රව්‍ය මිල දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා.
කුකුළු කර්මාන්තයේ බෙහෙත් මිලද ඉතා සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. රටේ සමස්ත බිත්තර නිෂ්පාදනයෙන් 70 % ක් නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ බිත්තර නිෂ්පාදකයන්. නමුත් ඔවුන්ට පාදන පිරිවැය දරා ගැනීමට නොහැකි නිසා බිත්තර කර්මාන්තකරුවන් මව් සතුන් පවා මසට විකුණන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඔවුන් බිත්තර කර්මාන්තයෙන් ඉවත් වුවහොත් බිත්තර මිල ඉදිරියේදී පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනවා” ඔහු වැඩිදුරටත් පැවසීය.
ෂේන් සෙනෙවිරත්න