බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා රුපියල් 640,000 බැගින් පුටු මිලදී ගැනීමට ඇණවුම් කළ සමාගම සහ පළාත් සභාව එක්ව සකස් කළ ගිවිසුම් පරීක්ෂා කිරීමට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත පළාත් සභාවෙන් හා අදාළ විදෙස් සමාගමෙන් ලිපිලේඛන ගෙන්වා පුටු ගනුදෙනුවේ සත්‍ය තොරතුරු සොයාබැලීමට ආණ්ඩුකාරවරයා සැලසුම් කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
පුටු ගෙන්වීමට ගෙන තිබූ තීරණය අවලංගු කළ හැකිද, නැද්ද සම්බන්ධව නීතිවේදීන්ගෙන් කරුණු විමසීමෙන් පසුව ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන තිබෙන අතර, මෙවැනි ගනුදෙනුවක් අවලංගු කිරීමට පළාත් සභාවකට නීතිමය වශයෙන් පවතින ප්‍රතිපාදන කවරේදැයි පැහැදිලි කරගැනීමටද නානායක්කාර මහතා තීරණය කර තිබේ.
පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාව හේමකුමාර නානායක්කාර මහතා වෙත ඊයේ (29දා) පෙරවරුවේ ලබා දී තිබෙන බවත්, එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව පැහැදිලි කරගත යුතු නීතිමය කරුණු කිහිපයක් ඇතැයි ඔහුට පෙනී ගොස් තිබෙන බවත් වාර්තා වේ.
ඒ අනුව හේමකුමාර නානායක්කාර මහතා පළාත් පාලන පනත පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත නීතී උපදේශකවරුන්ගෙන් සමන්විත රැස්වීමක් කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කර ඇතැයිද වාර්තා වේ.
ඉදිරි දින කිහිපය ඇතුළත පුටු ගනුදෙනුව සම්බන්ධව සවිස්තර පැහැදිලි කිරීමක් සිදු කිරීමට හේමකුමාර නානායක්කාර මහතා අදහස් කරගෙන සිටින බවද ආරංචි මාර්ග සඳහන් කළේය.