බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන්ට අසුන් ගැනීම සඳහා රුපියල් 640,000ක් වැයකරමින් පුටු 125ක් ගෙන්වීමට ගෙන තිබූ තීරණය සම්බන්ධව සොයාබැලීමට පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද (29දා) දින පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා වෙත බාරදීමට නියමිතය.
පළාත් ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
බොහෝ විට ඉදිරියේදී විදේශයන්ගෙන් පුටු ගෙන්වීමේ තීරණය අත්හිටුවා මෙරට නිෂ්පාදකයන්ගෙන් පුටු මිලදී ගැනීමට අවධානය යොමුවනු ඇතැයි පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරුන් පුටු ගෙන්වීමේ තීරණයට එකඟතාව පළ කර තිබෙන බවත්,ආණ්ඩුකාරවරයා පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තා ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
පසුගියදා පැවැති බස්නාහිර පළාත් මහා සභා රැස්වීමේදී පුටු ගෙන්වීමේ තීරණයට විරෝධය පළ කරනු ලැබූයේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණි.
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් රුපියල් 640,000ක් වැයකරමින් විදේශයන්ගෙන් පුටු ගෙන්වීමට පක්ෂව එහිදීඅදහස් පළ කළහ.