රජය සහන ලබා දී තිබියදීත් පෞද්ගලික බස් සංගම් ජනතාව අපහසුතාවට පත්කරමින් වැඩවර්ජනයකට යන්නේ නම් බලපත් නොමැති පෞද්ගලික බස් රථ ලංගමයට තාවකාලිකව බදු පදනම මත ලබා ගෙන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සැපයීමට රජයේ අවධානය යොමුවී ඇතැයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
පෞද්ගලික බස් සංගම් සිදුකරන විවිධ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හමුවේ රජය ගෙන ඇති වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට හබරණදී පැවැති හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
මෙම තත්ත්වය දිගටම ක්‍රියාත්මක කරන්නේ නම් තෝරාගත් බලපත් නොමැති බස්රථ ලංගමය හරහා ලබා ගෙන ඔවුන්ට දිගුකාලීනව මගී ජනතාව ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රජයේ අවධානය යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
බස් සංගම් වලට සහ බස්රථ අයිතිකරුවන් වැඩි ගාස්තු මුදලක් අය කරන බවත් කෙසේ වෙතත් මගී ජනතාව අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක බස්රථ හිමිකරුවන් මෙවැනි ආකාරයෙන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව කණගාටුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.