ගිනිඅවි නිෂ්පාදනාගාරයක් අද (29 ) රාත්‍රියේ වටලා නිෂ්පාදනය නිමා කර තිබූ ගිනි අවියක් , නිෂ්පාදනය වෙමින් තිබූ ගිනි අවියක කොටස් හා ජීව උණ්ඩයක් සමග පුද්ගලයකු බලපිටිය මරදානේදී සැකපිට ප්‍රශ්න කිරීමට අහුන්ගල්ල පොලීසිය අත් අඩංගුවට ගෙන ඇත.
ගිනිඅවි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යකඩ බට,යකඩ කපන කියතක්,ලී කපන කියතක්,යකඩ විදින යාන්ත්‍රික විදිනයක්,එයට දැමිය හැකි විවිධ ප්‍රමාණයේ කටු,ඇතුලු උපකරණ රැසක්ද මේ සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බලපිටියේ හෝටලයක විදුලි කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන සැකකරු සිය නිවසේ සිට ගිනිඅවි නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම ලබාගෙන ඇත්තේ අන්තර් ජාලයෙන් බව මූලික විමර්ශනයේදී අනාවරණයවූ බවද පොලීසිය කියයි.
සැකකරු මෙසේ ගිනිඅවි නිෂ්පාදනය කරන්නට ඇත්තේ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ගිනිඅවි සැපයීමටද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කළ බවද පොලීසිය කියයි.
සැකකරු හෙට (30 ) උදේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත