අභිනවයෙන් ඉඳිකළ මාතර බෙලි අත්ත දුම්රිය මාර්ගය හෙට (08දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ. උදෑසන නවයට යෙදෙන සුබ මොහොතින් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන් ආරම්භ කරයි. එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය ළඟා වීමෙන් පසුව ජාතික මහෝත්සවය පෙරවරු 10.30ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමන් පරිශ්‍රයේ පැවැත්වේ.
දුම්රිය මාර්ගයේ පළමු නීරීක්ෂණ දුම්රිය ධාවන කෙරුණේ 2018 ජනවාරි 06 වැනිදා ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සහභාගිත්වයෙනි. මෙහිදී S - 12 වර්ගයේ වායුසමනය කළ දුම්රියක් එම මාර්ගයේ ධාවන කරවීමට නියමිතව තිබේ.
මෙම දුම්රිය මාර්ගයේදී මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි විස්සකි. ෙඅභිනවයෙන් විවෘත කෙරෙන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ දුම්රිය ස්ථායෙන් ගමන් ආරම්භ කරනා දුම්රිය 7ක් වේ. එයින් එක් දුම්රියක් ගාල්ල දක්වාද දුම්රිය 4ක් මරදාන දක්වාද ගමන් කරයි. යාපනය සහ වව්නියාව දක්වා සෙසු දුම්රිය දෙක ධාවනය කෙරේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් අවසාන කරන දුම්රිය ගණන 6කි. එයින් පහකම ගමනාන්තය වන්නේ මරදානයි. එක් දුම්රියක් වව්නියාව දක්වා ගමන් කරයි.
මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ නැවතුම් ස්ථාන 6කි. එනම් මාතර, පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැවුරුකන්නල සහ බෙලි අත්ත වේ. මෙයින් උප දුම්රිය ස්ථාන වන්නේ පිලදූව සහ වෙහෙරහේන වේ. සෙසු දුම්රිය ස්ථාන ප්‍රධාන දුම්රිය ස්ථානයයි. මෙම දුම්රිය මාර්ගයේ බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 කි. දෙවැනි පන්තිය රුපියල් 70කි. තුන්වැනි පන්තිය 35කි.