බම්බලපිටිය සිට දෙහිවල ඇල මාර්ගය දක්වා අවිධිමත් ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා විධිමත් නිවාස ලබාදීමේ වැඩසටහනේ එක් පියවරක් හෙට ක්‍රියාත්මක වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම නිවාස ලබාදීමේ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. කොළඹ අවිධිමත් ජනාවාසවල ජීවත්වන පවුල්වලට පදිංචියට සුදුසු නිවාස ලබාදීම මෙහි ප්‍රධාන අරමුණවේ. බම්බලපිටිය සිට දෙහිවල ඇල මාර්ගය දක්වා අවිධිමත් ජනාවාස වෙනුවට විවේකයෙන් ගතකර හැකි වෙරළ තීරයක් සහිතව එම ප්‍රදේශය අලංකාර කිරීම ද මෙහි තවත් අරමුණකි.
මෙම අවිධිමත් ජනාවාසවල පදිංචි පවුල් 54 ක් වෙනුවෙන් නව නිවාස හේනමුල්ල ”රන්මිතු සෙවන” නිවාස ව්‍යාපෘතියෙන් ලබාදීම හෙට (30) දහවල් 12.00 ට නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු පි‍්‍රයත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය, 18 වන මහලේ ශ්රවණාගාරයෙහි සිදුකිරීමට නියමිතයි.
CML -MTD (PVT)Ltd ආයතනය සමඟ ක්‍රියාත්මක කරන ලද මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2014 වර්ෂයේ දී ආරම්භ කරන ලදී. මෙම නිවාස ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් මිලියන 1656 ක් වේ.
තට්ටු 15 කින් සමන්විත මෙම නිවාස ව්‍යාපෘතියේ එක් නිවසක් කාමර 2 ක්, සාලය, නානකාමරය සහ මුළුතැන්ගෙයකින් ද සමන්විත වේ.
මහල් නිවාස සංකීර්ණයේ එක් නිවසක් වර්ග අඩි 450 කින් සමන්විතයි. එක් නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 50 ක් පමණ වේ.
එම ස්ථානයේ පාසලක් සහ ක්රීඩාංගයක් ඉදිකිරීමට යෝජනා වී ඇති අතර සතොස වෙළඳසැලකින් ද මෙම නිවාස සංකීර්ණය සමන්විත වේ.
මෙහි ඉදිකිරීම් කටයුතු ඇතුළු සියල්ල අධික්ෂණය කරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි.