වවුනියාව පුලියන්කුලම පූතූර් කෝවිල ප්රදේශයේදී අතුරුමාර්ගයක බෝම්බ සහිත බෑගයක් දමා පළා ගිය සැකකරු සමඟ සෘජුවම සම්බන්ධතා පැවැත්වූ තවත් දෙදෙනෙකු ඊයේ (08) රාත්රි කාලයේදී අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය කියා සිටියේය.
අදාළ සැකකරුවන් වව්නියාව නගරයෙන් හා අනෙක් සැකකරු පූවර්සන්කුලම් ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ද වවුනියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය 72 ක රඳවාගෙන ප්රශ්න කිරීම් නියෝග යටතේ ප්රශ්න කිරීමට පුලියන්කුලම් පොලීසිය පියවර ගෙන ඇත.
මීට පෙරද බෝම්බ බෑගය දමා ගිය ප්රධාන සැකකරුට උදව් කරන ලද සැකකරුවන් තිදෙනෙකු පුලියන්කුලම් පොලීසිය විසින්ද තවත් එක් සැකකරුවෙකු වවුනියාව පොලිස් කොට්ඨාස නොවිසුඳුණු අපරාධ විමර්ශන ඒකකය විසින්ද අත්අඩංගුවට ගනු ලැබිණි.
මේ අතර පසුගිය පළමුවනදා බෝම්බ බෑගය දමා පළා ගිය ප්රධාන සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර පළාගිය ප්රධාන සැකකරු යුද සමයේදී කොටි සංවිධානයේ ප්රභල සාමාජිකයෙකු බවටද පොලීසියට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.