ඇදිරිනීතිය ඉවත්කිරිමත් සමග මහනුවර - යාපනය ඒ 9 මාර්ගයේ මහනුවර සිට දඹුල්ල බලා ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් රාජකාරි නිමවා සිය නිවෙස වෙත යමින් සිටි පොලිස් සැරයන්වරයෙක් ජිවිතක්ෂයට පත්වී ඇතැයි නාඋල පොලීසිය පවසයි.
අනතුර අද පස්වරුවේ (20) නාඋල පොලිස් බල ප්රදේශයේ හුංගන්වෙල මංසන්ධියේ දී සිදුවී ඇති බව පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාඋල පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි පල්ලේපොල- මොරගස්පිටිය ලිපිනයේ පදිංචිව සිටි ජාලිය පාලිත බණ්ඩාර කොහොන (45) නැමැති දෙදරු පියෙකි.
මහනුවර සිට පැමිණ ඇති ලොරි රථය දඹුල්ල ප්රදේශයේ වී මෝලකට අයත් බවත් එහි සේවයේ යෙදී සිටි සේවකයින් රැගෙන ඒම සදහා ලොරි රථය මහනුවර ප්රදේශයට ගොස් ඇති බව පොලීසිය කියයි.
අධික වේගයෙන් පැමිණ ඇති ලොරි රථය වැරදි පැත්තෙන් ධාවනය වී ඇති බවත් ලොලි රථයේ රියදුරු හා එහි ගමන්ගත් සෙසු පුද්ගලයින් දෙදෙනෙකු ද අධික ලෙස බීමතින් සිට ඇති බවත් පොලීසිය කියයි.
අනතුර සිදුකර නොනවත්වා ධාවනය වී ඇති ලොරි රථය පසුපස මාර්ග රාජකාරියෙහි යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් හඹාගොස් සැකරුවන් හා ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරින් පසු තුවාල ලැබු පොලිස් සැරයන් වරයා වහාම නාලන්ද රජයේ රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරුව ඔහු මිය ගොස් තිබේ.
අද (20) පස්වරුව වන විට මෘත ශරිරය දඹුල්ල මූලික රෝහලට යවා ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය එහිදි සිදුකිරිමට නියමිතය.
වසර 25 කට අධික කාලයක් පොලිස් සේවයේ යෙදි ඇති මිය ගිය ජාලිය පාලිත බණ්ඩාර කොහොන මහතා යුද සමයේ ක්රියාන්විත රාජකාරියේ ද යෙදී ඇති පොලිස් නිලධාරියෙකු බව නාඋල පොලීසිය කියයි.
මාතලේ දිස්ත්රික් (02) පොලිස් අධිකාරි අජිත් වංශනාත මහතාගේ උපදෙස් පරිදි නාඋල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක යු.ජි.පි.කේ. රත්නායක මහතා ඇතුලු විශේෂ පොලිස් නිලධාරි කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
නාඋල - ඉන්දික අරුණ කුමාර