යුධ හමුදාවෙන් ඉවත්වූ නිළධාරින් පිරිසක් කඩිනමින් බදවා ගෙන විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් විශේෂ පුහුණුවක් ලබාදී විශේෂ කණ්ඩායමක් හැටියට විශේෂ ගණයේ රැදවියන් සිටින බන්ධනාගාර වල බාහිර ආරක්ෂාව සඳහා යොදවන්නට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
එසේම කැරලිකාරි අවස්ථාවල ක්ෂණිකව කැඳවාගත හැකි කණ්ඩායමක් ලෙස ස්ථාපනය කිරීමටද කටයුතු කරන බව බදුල්ලේ අද පැවැති උත්සවයකදී තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.
බන්ධනාගාර නාමය වත්මන් සමාජයට නොගැලපෙන බව කී උපුල්දෙනිය මහතා එය විශෝධන මධ්‍යස්ථානය ලෙස වෙනස් කිරීමට ලෝකයේ වෙනත් රටවල මෙන් කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
ලෝකයේ බොහෝ රට වල මෙන් නවීන අවි ආයුධ හා උපකරණ බන්ධනාගාර නිලධාරින්ට ලබාදීමටත් ආරක්ෂක කටයුතු විධිමත් කිරීමට හා අයථා කටයුතු හසු කරගැනීමටත් හැකිවන ලෙස බන්ධනාගාරවලට ආරක්ෂක කැමරා පද්ධතියක් සවිකිරීමටත් කටයුතු කරන බව ඔහු පැවැසීය.
බන්ධනාගාර නිලධාරින්ගේ වැටුප් 40 % කින් වැඩි කිරිමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බදුල්ලේ පාලිත ආරියවංශ