ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගම්මිරිස් අපනයනය කිරීමේදී පවතින බදු වාසිය යොදා ගනිමින් වියට්නාමයේ ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යොමුකරන බව ඉන්දියානු ගම්මිරිස් සහ කුළුබඩු වෙළෙඳුන්, වගාකරුවන්, වැවිලිකරුවන්ගේ ඒකාබද්ධතා කේරළ සම්බන්ධීකාරක කිෂෝර් ෂම්ජි පවසයි.
ඉන්දියාවේ 'නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ ඉන්දීය ගම්මිරිස් ගොවීන් ආරක්ෂා කිරීම සඳහා වෙළෙඳ භාණ්ඩ සඳහා සාමාන්‍ය ආනයන බද්ද 70%ක ඉහළ මට්ටමක පවතින නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන ගම්මිරිස්වලට අය කරන්නේ සියයට අටක සහන බද්දක් බවයි.
ඒ අනුව වෙනත් රටවලට පනවා ඇති අධික බද්දෙන් ගැලවීම වෙනුවෙන් මෙසේ වියට්නාමයේ සිට ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ගෙන යන බව ඔහු පෙන්වා දෙයි.
ඉන්දියාවේ ගෘහස්ථ භාවිතය සඳහා ශ්‍රී ලංකාවෙන් ගම්මිරිස් ආනයනය ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ටොන් 717ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 50%ක් හෝ ටොන් 372ක් ජුනි මාසයේදී පමණක් ඉන්දියාවට ආනයනය කර ඇති බවත්, 2019 පළමු මාස හය තුළ (ජනවාරි - ජූනි) ආනයන ටොන් 408ක් වූ බවත්, එයින් අදහස් වන්නේ මේ වසරේ එම කාලය තුළම 56%ක සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති බවත් යැයි ෂම්ජි පවසයි.
ඉන්දීය ගම්මිරිස් ආනයනකරුවන් ඉන්දීය ෆෙමා පනත (විදේශ විනිමය කළමනාකරණ පනත) බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට සැකයක් පවතින බවද පෙන්වා දෙන ෂම්ජි පවසන්නේ ශ්‍රී ලංකාවෙන් ගම්මිරිස් ආනයනය වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.