කොවිඩ් 19 ආසාදිත රෝගීන් සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් රෝගීන් 700 කට අධික පිරිසක් නිවෙස්වලම සිටින බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා පැවසීය.
බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් මේ තත්වය අනාවරණය කළ බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිවන රෝගීන් හට රෝහල්වල ඉඩ පහසුකම් ලබාදීමට නොහැකි බැවින් ඒ සඳහා යොදාගත හැකි වෙනත් ස්ථාන වැඩිකිරීමට සිදුව ඇතැයිද පෙන්වා දුන්නේය.
ඒ අනුව බණ්ඩාරවෙල බිඳුණුවැව පිහිටි යොවුන් සේනාංකය සතු ගොඩනැඟිලිද මේ සඳහා යොදාගත් බවද හාලිඇල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගොඩනැඟිල්ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද එම එක් එක් ගොඩනැඟිල්ලක රෝගීන් 300- 350 අතර සංඛ්‍යාවකට පහසුකම් ලබාදිය හැකි වන බවද පැවසූ මන්ත්‍රීවරයා එම මධ්‍යස්ථානවල කටයුතු යුධ හමුදාව මැදිහත් වීමෙන් සිදුවන අතර ජනතාව ලෙස මෙම රෝගය ආසාදිත වීමෙන් වැළකීම සඳහා සෑම දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතුයැයිද වැඩිදුරටත් සඳහන් කළේය.
හාලිඇල- විජේරත්න රත්නායක