එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවීමේ වැඩි වාසිඇතැයි අද පුවත්පතට වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඊයේ (22දා) දිනයේදී පැවැත්වූ සාකච්ඡාවකදී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර කෙසේ හෝ එජාපෙ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට තිදෙනාම එක්ව කටයුතු කළ යුතු බවට එකඟතාවකට පැමිණ තිබේ.
බත්තරමුල්ල පාර්ලිමේන්තු පාරේ පිහිටි කථානායක නිල නිවසේදී ඊයේ පෙරවරුවේදී පැය 1 ½ ක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්ද විමසීමකින් තොරව ජනාධිපති අපේක්ෂකයා නම් කර ගැනීමට සහ මේ අවස්ථාවේදී එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු සම්පූර්ණ නොකිරීමටද එහිදී එකඟතාවන්ට පැමිණ ඇතැයිද වාර්තා වේ.
ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂවල හා දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගන්නා ආකාරය ගැනද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂය බෙදීම වළක්වා ගෙන පාක්ෂිකයා අතරමං නොකර තීරණයක් ගතයුතු බවත්, ඒ සඳහා සියලු නායකයන්ගේ සහාය ලැබිය යුතු බවත් එහිදී අවධානය යොමුවී තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ස්ථාවරය වී ඇත්තේ පක්ෂයේ බෙදීමක් ඇති වන්නේ නම් තමන් කිසිසේත්ම ජනාධිපති ධුර අපේක්ෂකයා නොවන බවයි. පක්ෂයේ සියලු දෙනාගේම එකඟතාවයක් නොවේ නම් තමන් එම අපේක්ෂකත්වයට නොපැමිණෙන බව ඒ මහතා යළිත් තහවුරු කර තිබේ. මෙය කරු ජයසූරිය මහතා දිගින් දිගටම සිටි ස්ථාවරයද වෙයි.
මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ කොටස් දෙකක් නිර්මාණය වෙමින් පැවතීම නිසා කරු ජයසූරිය මහතා අපේක්ෂා කරන සාමූහිකත්වය ලබා ගැනීම අපහසු බව පෙනෙන්නට තිබේ. මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් හා රවුෆ් හකීම් යන නායකයන්ගේ යෝජනාව වී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ 106ක් වූ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර ඡන්දයෙන් එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා තෝරා ගත යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කැමැත්තට අනුව තෝරාගන්නා අපේක්ෂකයාට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලබාදීම වඩාත් ප්රජාතන්ත්රවාදී මෙන්ම වඩාත් ප්‍රායෝගික ක්‍රියාව බවයි.
කෙසේ වෙතත් තවදුරටත් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීම ප්‍රමාද වීම පක්ෂයට අවාසියක් බවද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ පෙන්වා දෙති.