
චීන පොහොර සමාගමට ගෙවිය යුතු වන්දි මුදල මෙරට මහජනතාවගේ බදු මුදලින් නොගෙවිය යුතු සේම ඒ සඳහා මහජනතාවගේ බදු මුදල් වලින් අදාල වන්දි මුදල ගෙවීම යුක්තිසහගත නොවන බවත් මේ සඳහා මැදිහත් වුණු අදාල පුද්ගලයක් සිව්දෙනාගෙන් මෙම වන්දි මුදල අයකරගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
"බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම මැයෙන්" අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
“අපේ රටේ ඕනෑම භාන්ඩයක් ආනයනය කිරීමේදී ප්‍රමිති ආයතනය විසින් සකස් කරන ලද ප්රමිතීන් තියනවා එහිදි අපි මෙතෙක් ආනයනය නොකරන ලද භාන්ඩයක් ආනයනය කරනවානම් ඒවාට අපි නව ප්රමිතීන් හදනවා. එතකොට මේ කාබනික පොහොර ආනයනය අපේ රටට අළුත් දෙයක් ඒ නිසා නව ප්රමිතීන් හැදුවා. ඒ වගේම අපේ රටට කාබනික ද්‍රව්‍ය ආනයනය කරනවානම් අපේ ශාක ආරක්ෂණ පණතට යටත්. එහෙනම් අපි ණයවර ලිපි විවෘත කරන්න කලින් මෙහි සාම්පල් පරික්ෂා කල යුතුව තිබුණා. දැන් මෙතන සාම්පල් පරික්ෂා කිරීමකින් තොරව ණයවර ලිපි නිකුත් කලේ කවුද ? ඒකට නියෝග දුන්නේ කවුද? ඒකට කඩිමුඩිය තිබ්බේ කාටද? ඒකයි වැදගත්.
එ් නිසා මේක කිසිසේත්ම මහජනයාගේ බදු මුදල් වලින් මහජනයාට බරක් පැටවෙන විදියට නොගෙවිට යුතු මුදලක්. මොකද මෙරට කිසිදු පුරවැසියෙක් මේ ගනුදෙණුවට හවුල් නෑ. මේ ගණුදෙනුවට හවුල් මහින්දානන්ද අලුත්ගමගේ, ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙන්න. මේ හතර දෙනාම දේශපාලකයෝ. ඒ නිසා මේ ගණුදෙනුවට අපි හවුල්ද? මේ ගණුදෙනුවට මේ රටේ පුරවැසියන් හවුල්ද? ඒ නිසා මේ රටේ පුරවැසියන්ගේ, මහජනයාගේ ධනයෙන් මේ වන්දිය ගෙවන්න කිසිසේත්ම යුක්ති සහගත අයිතියක් නෑ. ඒ නිසා මේ වන්දිය ගෙවිය යුතු වන්නේ මේ වන්දි ගෙවීමේ අපරාධය කරන ලද මහින්දානන්ද අලුත්ගමගේත්, ශෂේන්ද්‍ර රාජපක්ෂත් පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙන්නාත්. ඒ නිසා අපි බලකරන්නෙත් එතෙන්ට. මේ රටේ කිසිදු පුරවැසියෙක් තමන්ගේ බදු මුදල් මේ වංචාව වෙනුවෙන් හිලව් කිරීමට ඉඩ නොදිය යුතුයි.”