එක්සත් ජාතික පක්ෂය, ජාතික සමගි ජනබලවේගය හෝ මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂය සමග පොහොට්ටුව කිසිසේත් ජාතික ආණ්ඩු හදන්නේ නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පොහොට්ටුවේම මන්ත්‍රීධූර 150 ක් ලබා ගෙන තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටු ආණ්ඩුවක් හැදීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව බවත් මේ සටන ඒ සදහා බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිට්ටඹූව කොට්ඨාශ බල මණ්ඩලය ඊයේ (20) අමතමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග ,
“සමහර අය උත්සාහ කරනවා මාධ්‍ය වල කියන්න අපි මේ එක එක්කෙනාත් එක්ක එකතු වෙලා පූට්ටු ආණ්ඩු ගහන්න උත්සාහ කරනවා කියලා. අපිට පූට්ටු ආණ්ඩු හදන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ. අපි පූට්ටු ආණ්ඩු හදන්න ලෑස්තිත් නෑ. කවුරු කොහොම කිවුවත් එජාපය, සජබ හෝ මුස්ලිම් දෙමළ අන්තවාදී දේශපාලන පක්ෂ එක්ක ජාතික ආණ්ඩු හදන්න අපි ලෑස්ති නෑ. අපිට එහෙම ඕනකමක් නෑ. අපිට මේ රටේ ජනතාව විශ්වාසයි. ඔවුන් අපිට තුනෙන් දෙකක බහුතර බලයක් ලබාදෙන අය අපිට ඉරහද වගේ විශ්වාසයි. එතකොටයි අපිට කොන්ද කෙළින් තියාගෙන රට සංවර්ධනය කරන්න හැකි වන්නේ. මම හැමතැනම උගුර ලේ රහ වෙනකම්ම කියන්නේ ඒකයි. පොහොට්ටුවෙන් ඉල්ලන සියලු දෙනා පොහොට්ටුවේ නෙමෙයි. ඒ නිසා ඔබේ වටිනා ඡන්දය දෙනකොට පොහොට්ටුවේ සාමාජිකයන්ට පමණක් ඡන්දය දෙන්න. සමහරු බලාගෙන ඉන්නේ උකුසු ගේම් ගහන්න. දියකාවා මාළුවා අල්ලගෙන ගියාම උකුස්සා පැනලා ඒක ඩැහැ ගන්නවා කියලා එදා හිටපු යහපාලන ලොක්කා කිවුවනේ. ඒක අපිට හොද පාඩමක්. අපේ ඡන්ද වලින් ඇතුළට ඇවිත් ඇතුළේ කල්ලියක් ගහලා ඒ ඡන්ද ටික පෙන්න පෙන්න රිමෝට් එක අතේ තියාගෙන අපිව නටවන්න හදන්නේ. ඒ නිසයි අපි කියන්නේ පොහොට්ටු සාමාජිකයන් දිනවන්න කියලා. අපි පොහොට්ටුවේ. පොහොට්ටුවේ ඉන්නේ කවුද? අහසින් වැටුණු මිනිස්සු පොහොට්ටුවේ නෑ. පොහොට්ටුව හැදුවේ ශ්‍රී ලංකාකාරයෝ. ඇත්ත ශ්‍රිලනිපය තියෙන්නේ මෙතන. බණ්ඩාරනායක ප්‍රතිපත්ති පංච මහා බලවේගය අද ඉන්නේ අපි එක්ක. පක්ෂයේ හිටපු ලේකම් පක්ෂය අලියාගේ නැට්ටේ ගැටගහනකොට අපි ඒකට විරුද්ධවයි එළියට බැස්සේ. අපිව පක්ෂයෙන් අයින් කළා. අපි වගේ නන්නත්තාර වෙලා හිටපු ශ්‍රී ලංකාකාරයෝ වෙනුවෙන් තමයි පොහොට්ටුව හැදුවේ.
ඡන්දෙන් පස්සේ ශ්‍රිලනිපයේ පක්ෂ සභාපතිකම භාරගන්නයි ශ්‍රිලනිපයේ කෙනෙක් ඊයේ පෙරේදා ආරාධනය කරලා තිබුණා. ඕක තමයි අලුත්ම ලණුව. එතනදීත් මහින්ද මහත්තයා කියලා තිබුණේ තමන් හදපු පොහොට්ටුව දාලා යන්නේ නෑ කියලයි. අද එක එක ගුණ්ඩු දාලා බලනවා පොහොට්ටුව නැති කරන්න” යැයි ඔහු පැවසීය.
