පොදු ස්ථානවල මුඛ ආවරණ නොමැතිව සිටින පිරිස්වලට, දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන්ට එරෙහිව හා සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු නොකරන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව නඩු පවරව බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳ සොයා බැලීමට හා උත්සව සමය නිමිති කර ගෙන ආහාරපාන අලෙවි කරන ස්ථාන ආහාර පනතට අනුව කටයුතු කරනවාද යන්න සොයා බැලීමට මේ වනවිට දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබෙන බවද එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
පොදු ස්ථානවල මුඛ ආවරණ නොමැතිව සිටින පිරිස්, දුරස්ථභාවය තබා නොගන්නා පිරිස් පිළිබඳ හා සෞඛ්‍ය උපදෙස්වලට අනුව කටයුතු නොකරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන පිළිබඳ අද (09දා) දිනේන අවසන් වූ දින හතක කාලය තුළදී සොයා බැලීමක් සිදුකළ බවත්, මේ අනුව කෝවිඩ් සෞඛ්‍ය උපදෙස් කඩ කරන්න සිටින බවට තහවුරු වූ බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව එම සතිය තුළදී පුද්ගලයන් 437කට නඩු පැවරූ බවත්, මීට අමතරව ආයතන 39කටද බඩු පැවරූ බවත් සභාපතිවරයා සඳහන් කළේය.
කෝවිඩ් තත්ත්වය තවදුරටත් පවතින නිසා අද (09දා) සිට මේ පිළිබඳ සොයා බැලීමට දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කළ බවත්, මෙම මෙහෙයුම්වලදී ආහාර පනත උල්ලංඝනය කරමින් ආහාර පාන අලෙවි කරන පිරිස් පිළිබඳවත් සොයා බලා නඩු පවරන බවත් හෙතෙම පවසා සිටියේය.
ඉදිරියේදී උත්සව සමයක් පැවතියත් කෝවිඩ්-19 තත්ත්වය තවදුරටත් පවතින නිසා අනවශ්‍ය ආකාරයට මහජනයා ඒකරාශී නොවන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවත්, මීට අමතරව නිවසින් බැහැරව යාමේදී මුඛ ආවරණ නිසි ලෙස පැලඳ ගමන් කරන ලෙසත් ඉල්ලා සිටින බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළේය.
සියලුම වෙළෙඳ සැල් හා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී ලබාදී තිබෙන සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයටම පිළිපදිමින් පවත්වාගෙන යා යුතු බවත්, එසේ නොකරන පිරිස්වලට, මුඛ ආවරණ නොමැතිව සිටින පිරිස්වලට හා පොදු ස්ථානවලදී දුරස්ථභාවය තබා නොගන්නා පුද්ගලයන්ට එරෙහිවත් නිරෝධායන පනත යටතේ නඩු පවරන බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.