කොරෝනා රෝගය වැළඳුණු පිළියන්දල දැල්තර ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලා ගමන් කළ බව කියන පිළියන්දල නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් ඇතුළු ස්ථාන නමයක පුද්ගලයින් හැත්තෑ අට දෙනකුගේ සිදුකළ පි.සී.ආර් පරීක්ෂණ වලට අනුව ,කිසිවකුට හෝ කොවිඩ් 19,වෛරසය වැළඳී නැතැයි,පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .
එම පී.සී.ආර් පරීක්ෂණ පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ දී ඉකුත් 16 දා සිදුකළ සිදු කළ බව ද වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු ලෙස සේවය කරන මෙම යුධ හමුදා නිලධාරියා ,නිවාඩු ලබා ,ඉකුත් 3දා ,පිලියන්දල දැල්තර ප්‍රදේශයේ ඔහුගේ මව පදිංචි නිවසට පැමිණ ,4 දා පිළියන්දල නගරයේ රාජ්‍ය බැංකුවක ටේලර් යන්ත්‍රයකින් මුදල් ලබාගෙන තවත් ව්‍යාපාරික ස්ථාන තුනකට සහ ගරාජයකට ද ගොස් ,5 දා නැවත රත්නපුර ප්‍රදේශයට ගොස් ඇතැයි පැවසේ .
පසුව 13 වන දා, එම නිලධාරියාට කොරෝනා රෝගය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහු ගමන් කළ ව්‍යාපාරික ස්ථාන තුනක් හා ගරාජය නිරෝධායනයට ලක් කොට ,ටේලර් යන්ත්‍රය භාවිතා කළ පාසල් සිසුවකු ඇතුළු 78 දෙනෙකු මෙසේ පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එහි වාර්තාව 18 දා ලැබී තිබූ අතර ඉන් කිසිවකුට හෝ කොවිඩ් 19 වෛරසය වැළඳී නැතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා වැඩිදුරටත් කීය .
එසේම මුදල් ලබාගත් බව පැවසෙන ටේලර් යන්ත්‍රය විසබීජහරණය ට ලක් කිරීමට පියවර ගත් බව ද පැවසේ .
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුමිත් මාක් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ,මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වන, සමන් ජයසේකර ,උදය දිසානායක ,ප්‍රසාද් ප්‍රියදර්ශන, නිරෝෂණ වන්නිගම, මහේෂ් බුද්ධප්රිය,එල්.ජේ.ස්වර්ණගේ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ .
