ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත තමා ඇමරිකාවේ තානාපති ධුරයේ වැඩ භාර ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉවත් වන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා පැවසීය.
එළැඹෙන 29 වැනිදා වන විට තමා ඇමරිකාව බලා පිටත්ව යන බව අද (23දා) පාර්ලිමේන්තුවේ පැවති කාරක සභා විවාදයට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.
"අපේ සමස්ථ අපනයනයෙන් 25%ක් අපි එවන්නේ ඇමරිකාවට. යුරෝපා හවුලට ඒ වගේම විශාල ප්රමාණයක් අපි අපනයනය කරනවා. ජී.එස්.පී ප්ලස් අපිට දීලා තිබෙන නිසා ඒ සහනය පදනම් කරගෙන අපිට මාකට් ඇක්සස් එකක් ලැබිලා තිබෙනවා. ඉතින් මේ රටවල් තරහා කර ගන්න හොද නෑ. ඒ අය සමග හොඳ සුහදතාවයක් ගොඩ නාගා ගන්න කටයුතු කරන්න ඕන. ඔවුන් අපිට විරුද්ධව යෝජනාවක් ගේනවා නම් දොර වහන්න හොද නෑ ඒ අයට.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මගෙන් ඉල්ලීමක් කළා ඇමරිකාවේ තානාපතිවරයා ලෙස වැඩ භාර ගන්න කියලා. මම ඒ ඉල්ලීම භාර ගත්තා. මම බලාපොරොත්තු වෙනවා තව දවස් දෙක තුනකින් පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා 29 වැනිදා වන විට ඇමරිකාව බලා පිටත් වෙන්න. විශේෂයෙන්ම මාසයකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිබුණු ඡන්දයකදී ඇමරිකාව විශාල ජයග්රහණයක් කරලා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයෙක් ලෙස පත්වුනා. ඔවුන් ලබන අවුරුද්දේ ජනවාරි 01 වැනිදා සාමාජිකත්වය භාර ගන්නවා. මම යන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත රටට සේවයක් කරන්න."
යනුවෙන්ද සඳහන් කළේය.