පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් හෙට (10දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඇතුළත් වනු ඇත.
2009 වසරේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා සිමාසහිත ලංකා ගල් අගුරු සමාගම මඟින් සිදු කරන ලද ගල් අගුරු ප්‍රසම්පාදන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ ආංශික අධික්ෂණ කමිටුවේ ඉල්ලීම පරිදි විගණකාධිපති විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුළත්ය
මෙයට අමතරව ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු හා එහි පාරිසරික බලපෑම සම්බන්ධ විගණකාධිපති විශේෂ වාර්තාව, කැලණි ගඟේ දූෂණය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව, 2016 වර්ෂය තුලදී ජාතික ලොතරැයි මණ්ඩලයට පරිගණකාශ්රිත දිනුම් ඇඳීම සඳහා වූ ලොතරැයිපත් මුද්‍රණය හා භාරදීම පිළිබඳ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව සහ රාජ්‍ය සේවයේ ඩිජිටල්කරණය කිරීමට අදාළව සීමාසහිත ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය ඉටුකර ඇති කාර්යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඊට ඇතුලත්ය.