පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වනජීවී හා වන සංරක්ෂණ අංශයන්ට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා කඩිනමින් කමිටුවක් පත් කරන ලෙස වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (03) නියෝග කළේය.
එම කමිටුවේ වාර්තාව සති 02 ක් ඇතුළත වහාම ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයට අදාළව වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ දී අද රැස්වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හෙතෙම මෙම නියෝගය කළේය .
පසුගියදා ජනමාධ්‍යයේ සහ සමාජ මාධ්‍යයේ වැඩි අවධානයක් යොමු වූ පොළොන්නරුව මනම්පිටිය යක්කුරේ මාර්ගය යළි විවෘත කිරීම සම්බන්ධව සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සම්බන්ධ වූ නීරීක්ෂණ චාරීකාවේ දී මතු වූ ප්‍රශ්නයට පසුබිම් වූ සිද්ධිය මෙන්ම, කුඹුරු ඉඩම් නිදහස් කිරීම වැනි ගැටලු රැසක් පිළිබදව එම කමිටුවේ දී අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා කීවේය.
එමෙන්ම පවතින ගැටලුවලට විසඳුම් වශයෙන් අමාත්‍යවරයා ලෙස තමා නිකුත් කළ නියෝග මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ද වහාම කරුණු ඉදිරිපත් කරන ලෙස සී.බී රත්නායක මහතා නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
පොළොන්නරුව මනම්පිටිය යක්කුරේ මාර්ගය සම්බන්ධ කාරණයේ දී වනජීවී නිලධාරින් ගේ ක්‍රියාකලාපය පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත්, එහි වාර්තාව වහාම ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කාරක සභාවේ දී සාකච්ජා විය. රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙහි දී පැවසුවේ ඇතැම් වනජීවී නිලධාරින්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයි.
වත්මන් රජය, වනාන්තර සහ වනජීවීන් ආරක්ෂා කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය සී.බී රත්නායක මහතා කීවේ ය.
ඒ සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා සමඟ සාකච්ජා කල බව ද හෙතෙම පෙන්වා දුන්නේය. වනාන්තර සහ වනජීවීන් ආරක්ෂා කිරීමේ කාර්යයයේ දී ඊට බාධා කරන පාර්ශවයන්ට එරෙහිව නැඟී සිටීමට තමා පසුබට නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.