පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හදුනා ගත් කොරෝනා ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 44 දෙනෙකු නිරෝධායනය සදහා යොමු කළ බවත් වැලිකන්ද විශේෂිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයින් 39 ද පොළොන්නරුව මහ රෝහලේ සැකසහිත පුද්ගලයින් 06ක් ද ප්‍රතිකාර ලබන බවත් පොළොන්නරුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද (23) පෙරවරුවේ පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීය.
උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා හා පොළොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම් කමිටු රැස්විම පැවැත්විණ. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මේ බව පැවසිය. එහිදී ඇති වූ හදිසි තත්ත්වය හමුවේ ක්‍රියාකළ ආකාරය ගැන ද හෙතෙම විස්තර කළේය.
කොරෝනා ආසාදිතයෙකු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමු වීමත් සමග උද්ගතව ඇති අවදානම් සහගත බව නිසා එම පුද්ගලයා ජීවත්වූ බී.ඕ.පී.398 ගම්මානය හා ඒ ආශ්රිත ගම්මාන 12ක් හුදකලා කිරීමට ඊයේ (22) රාත්‍රියේම සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගත් හ.
මෙසේ හුදකලා කරනු ලැබූවේ පුලස්තිගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්අභයපුර,පටුණුගම,සෝමපුර,පුලස්තිගම,කෑගලුගම,රිෆායිපුර,අල්හිලාල්පුර,තඹාල,වීරපුර,ලංකාපුර,බෞද්ධාර්ථගම හා සංඝබෝධිගම යන ගම්මානයි. මෙම ආසාදිතයා ගමන්කළ ප්‍රදේශ හා නිවාස විෂබීජහරණය කිරීම ට ද පියවර ගැනුණි.
වැලිසර නාවික හමුදා කඳවුරේ අනුයුක්තව සේවය කළ නාවික සෙබලා ඉකුත් (18) දා නිවාඩු ලබා පැමිණ ඇති අතර ඔහු රාගම,වැලිසර සිට පැමිණ ඇත. වාහන පිළිබදවත් ඔහු සමග ළගින් ඇසුරු කළ පිරිස් පිළිබදවත් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.
මෙම නාවික සෙබලා කොළඹ නුවර බස් රථයකින් වරකාපොළ දක්වා පැමිණ එතැනින් ත්‍රිරෝද රෝද රථයකින් අලව්ව දක්වා පැමිණ ඇති බවත් එතැන් සිට යුද හමුදාවේ බස්ථයක නැගී කුරුණැගල දක්වාත් කුරුණෑගල සිට දඹුල්ල දක්වා එළවලු ලොරියකත් එතැන් සිට මින්නේරිය දක්වා හාල් ලොරියකත් මින්නේරියෙන් බැස පයින් ම හිගුරක්ගොඩ පැමිණ එතැනින් ත්‍රිරෝද රථයක නැගී නිවසට පැමිණ ඇති බවත් අනාවරණය කරගෙන තිබෙන බව ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ඔහු සමග දඹුල්ලේ සිට සහල් ලොරියක පැමිණි මැදිරිගිරියේ හා ඇළහැර යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු ද හදුනාගෙන ඔවුන්ව සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයකට යොමුකළ බවත් ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ බවට හදුනාගත් පුද්ගලයින් 44 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද ඔහු හා සෘජු සම්බන්ධතා පැවැත්වූ සිරිපුර,පළුදෙනිය ප්‍රදේශයේ පුද්ගලයින් 7 දෙනෙකු ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද හෙතෙම වැඩි දුරටත් කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්යක්ෂවරයා මෙසේ ද කීය.
"ආසාදිතයා සමග සෘජු සම්බන්ධතා පැවැත්වූ අයට අමතර දෙවන වලල්ල පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා.විශේෂයෙන් ම මීට පෙරත් මෙම කමිටුවේදී කිව් පරිදි දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ,ආරක්ෂක අංශ,පොලිසිය ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කියලා බෝඩ් ගහගෙන යන හැමෝම ඉතාම සැලකිලිමත් විය යුතුයි. ඒ අයගෙන් මෙය බෝවීමේ ඉඩකඩ තියෙනවා. පොළොන්නරුවට නිවාඩු එන හා අත්‍යාවශ්‍ය සේවා සදහා එන අය ගැන තීන්දුවක් ගත යුතුයි."