තමාව පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවූ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නිදහස් මාධ්‍යවේදියා ඉදිරිපත් කළ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට විමර්ශනවලදී අණාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඔහුද තම පැමිණිල්ල අසත්‍ය බවට පාපොච්ඡාරණය කර ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
පැහැරගත් බව කී මෙම මාධ්‍යවේදියා මීගමුවේ සිට දෙමටගොඩ දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ තිඹිරිගස්යායේ පිහිටි කාර්යාලය වෙත ගොස් ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඔහු පැය 3ක් පමණ එම කාර්යාලයේ රැදී සිටීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා එම ස්ථානයට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව ඔහු රෝහල්ගත කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
ඔහුගේ අත් පුළුස්සාගෙන ඇත්තේ පසුගිය 9 වැනිදා ඔහුගේ නිවසේදී මේසන් හැන්දකින් බවට අණාවරණය වී ඇති බවද අජිත් රෝහණ මහතා පැවැසීය.
මේ අනුව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගත් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගෙන් හා හිටපු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද මාධ්‍යප්‍රකාශකවරයා පැවැසීය.