එළවලු, ලොකු ලූනු ,සහ අතිරේක බෝග වගාවන් සඳහා යොදන මූලික පොහොර හිඟය නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.
මේ දිනවල දඹුල්ල ප්‍රදේශයේ කෘෂි ද්‍රව්‍ය අලෙවි සැල් වල ගොවීන් අලුයම් කාලයේ සිට පෝලිම් වල පොහොර ලබා ගැනීම සඳහා පැමිණ සිටින අතර පුද්ගල දුරස්ථ භාවයද නොතකා ගොවීහු රැදී සිටිති.
ඇතැම් වෙළඳසැල් වලට ඉතා සීමිත පොහොර ප්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඒවා ක්‍රමානුකුලව ගොවීන්ට අලෙවි කිරීම සිදු කිරීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවත් අලුයම 4 සිට දහවල් වනතුරු ම පෝලිමේ සිට සිට පොහොර ලබා ගැනීමට නොහැකිව නැවතත් ගම්බිම් බලා පිටත්ව යෑමට සිදුව ඇතැයි ගොවීහු චෝදනා කරති.
ඇතැම් පොහොර කඩවල මේ වෙලාවේ අවශ්‍යතාවයක් නොවන වෙනත් පොහොර වර්ග තිබෙන බවත් යූරියා මඩ පොහොර එලවලු පොහොර ලූණු පොහොර ආදී අත්‍යාවශ්‍ය පොහොර තොග නොමැතිවීම නිසා ගොවීන්ට සිදුව ඇත්තේ ඒ වෙනුවට බන්ඩි පොහොර මිලදී ගැනීමට බව ද ගොවීන් එක් අයෙකුට එක් මිටිය බැගින් ඒවාද ලබා දීම සිදු කරන බව ද ගොවීන් කියති. එහෙත් මේ අවස්ථාවෙහි බන්ඩි පොහොර ගොවීන්ට අනවශ්‍ය බවත් ඔවුහු පෙන්වා දෙති.
පොහොර හිඟය පිළිබඳව වෙළඳසැල් හිමිකරුවන් කියා සිටියේ තමන් පෞද්ගලික සහ රජයේ පොහොර ගබඩා වලින් ඉල්ලුම් කළ ද අවශ්‍ය තරම් පොහොර නොලැබීම නිසා තමන්ද දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවය . ඇතැම් වෙළෙඳ සැල්වල "පොහොර නැත" යන දැන්වීම් පුවරු සවි කොට තිබේ.
දඹුල්ල රජයේ පොහොර ගබඩාවේ තත්ත්වය සොයා බැලීම සඳහා එහි ගිය අවස්ථාවේදී එහි සේවකයෙකු කියා සිටියේ මෙදින පොහොර ගබඩාවේ පාලකවරයා නිවාඩු ලබාගෙන ඇති නිසාත් සහනාධාර පොහොර පමණක් තම ගබඩාවේ තිබෙන බවය.
ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව විමසීම සඳහා දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය ප්‍රාදේශිය නිලධාරීවරයා හමුවීමට ගිය ද ඒ මහතා ද රාජකාරියේ යෙදී ඇති බව දැන්වීම් පුවරුවක සඳහන් ව තිබුණ ද ප්‍රදේශිය නිලධාරීවරයා ද සේවයට පැමිණ සිටියේ නැත.
රජය මඟින් එළවලු වගා කරන ලෙස දැනුම් දුන්නද අවශ්‍ය මූලික පොහොර තොග නොමැතිවීම නිසා ගොවීන්ට සිදුව ඇත්තේ ගොවිතැන් අත්හැර දැමීමට බව ගොවීන් කියති.
මෙම පොහොර හිගේ බරපතළම තත්ත්වය මතුවෙන්නේ ඉදිරියේ දඹුල්ල ප්‍රදේශයේ ලොකුළුණු වගාවට බවත් ගොවීන් බහුතරයක් කියති. ලොකු ලූණු වගාව ආරම්භ කිරීම සඳහා පොහොර නොමැතිකම නිසා ලූනු වගාව අත්හැර දැමීමට ගොවීන්ට සිදුව ඇතැයි ඔවුහු පවසති.
ඇතැම් ගොවීන් කියා සිටියේ අලුයම 4 සිට දහවල් වනතුරුත් පෝලිංවල නිරාහාරව රැඳී සිට නැවතත් පොහොර නැතිව ගම්බිම් බලා යන බවය. ඇතැම් ගොවීන් අවස්ථා තුන හතර වාහන වලට කුලී මුදල් ගෙවා පොහොර සොයා නගරවල ඇවිදිමින් සිටින බවත් කියති .
කඩිනමින් මෙම පොහොර හිඟයට විසදුම් ලබා දුනහොත් වගා කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි බවත් එසේ නොමැති වුවහොත් ඉදිරියේදී එළඹුණු ලොකු ලූනු අතිරේක බෝග වගාවෙන් ගොවියා ඉවත්වනු ඇතැයි ගොවීහු මැසිවිලි නගති.
කාංචන කුමාර ආරියදාස